Ronaldoගේ Euro සිහින බොඳවෙයි; Czech අවසන් 8ට

Euro 2020

1872

යුරෝපා ශූරයින් සොයා යන Euro 2020 පාපන්දු තරගාවලියේ තවත් තීරණාත්මක තරග දෙකක් ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (27) රාත්‍රියේ සහ අද (28) උදෑසන නිමාවට පත්වුනා.

එහි දී ලොව අංක 1 පාපන්දු කණ්ඩායම වන බෙල්ජියම විසින් වත්මන් Euro ශූර පෘතුගාලය පරාජය කරද්දී, නෙදර්ලන්තය පරාජය කරමින් අවසන් 8 දෙනා අතරට පිවිසෙන්නට චෙක් ජනරජ කණ්ඩායමට හැකි වුනා. 

Netherlands v Czech Republic

Budapest හි Puskás Aréna පාපන්දු ක්‍රීඩාංගණයේ දී නෙදර්ලන්තය ගෝල 2-0ක් ලෙස පරාජය කරන්නට Czech කණ්ඩායමට හැකි වුනා.

නෙදර්ලන්තය C කාණ්ඩයෙන් අපරාජිතව අවසන් 16 දෙනා අතරට පැමිණි අතර චෙක් ජනරජය D කාණ්ඩයේ දෙවැනි තැන ලබා ගනිමින් අවසන් 16 දෙනා අතරට පිවිසියා.

පළමු අර්ධය ගෝල රහිතව නිමා වූයේ ගෝල වාර්තා කිරීමට ආසන්න අවස්ථා කිහිපයක් කණ්ඩායම් දෙකේම ගෝල රකින්නා විසින් වැළැක්වීමත් සමඟයි.

ප්‍රථම ගෝලය වාර්තා වුනේ තරගයේ 68 වැනි මිනිත්තුවේ දීයි. Czech ක්‍රීඩකයින්ට හිමි වුන පැතිපහර අවස්ථාවක් සාර්ථකව ගෝලයේ දකුණු පස කෙළවරින් ගෝලය තුලට එල්ල කරන්නට Tomáš Holeš සමත් වුනේ යාර 4 සීමාවේ සිට හිසින් පන්දුව ගෝලය තුලට ඇතුළත් කරමින්.

තරගයේ ජයග්‍රාහී ගෝලය හෙවත් Czech කණ්ඩායමේ දෙවැනි ගෝලය වාර්තා වූයේ 80 වැනි මිනිත්තුවේ දීයි. Holes විසින් ප්‍රතිවාදීන් මග හරිමින් සාර්ථකව ගෝලය අසලට රැගෙන ආ පන්දුව ඔහු Patrik Schick වෙත යොමු කර අතර ඔහු සාර්ථකව ගෝලයේ වම් පස කෙළවරින් පන්දුව ගෝලය තුලට එල්ල කළේ ප්‍රතිවාදී ගෝල රකින්නාට එය නැවැත්වීමට අවකාශයක් ඉතුරු නොකරමින්.

ඒ අනුව ගෝල 2-0ක් ලෙස නෙදර්ලන්තය පරාජය කර Czech ක්‍රීඩකයින් අවසන් 8 දෙනා නොහොත් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත් අතර ඔවුන් එහි දී ඩෙන්මාර්කය සමඟින් තරග වැදීමට නියමිතයි.

අවසන් ලකුණු තත්වය: නෙදර්ලන්තය 0 – 2 Czech Republic

ගෝල ලාභීන්: 

  • Czech: Tomáš Holeš 68’, Patrik Schick 80’

Belgium v Portugal

දිනයේ වඩාත් අවධානය දිනා ගත් මේ තරගයේ දී වත්මන් Euro ශූරයින් වන Cristiano Ronaldoගේ නායකත්වයෙන් යුත් පෘතුගාල කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජය කරන්නට ලොව අංක 1 පාපන්දු කණ්ඩායම වන බෙල්ජියම සමත් වූයේ පෘතුගාලයේ Euro ශූරතා සිහින සියල්ල බොඳ කරමිනුයි.

Seville හි La Cartuja ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය සඳහා පෘතුගාලය F කාණ්ඩයේ දෙවැනි තැන ලබා ගනිමින් පිවිසි අතර බෙල්ජියම B කාණ්ඩයේ පෙරමුණ දිනා ගනිමින් අවසන් 16 සඳහා පිවිසියා.

මෙම තරගයේ දී කාගේත් අවධානය Ronaldo සතු වූයේ ඔහු විසින් මෙම තරගයේ දී වාර්තා කරන ගෝලයත් සමඟින් ඔහු වැඩිම ජාත්‍යන්තර ගෝල ප්‍රමාණයක් ලබා ගත් ක්‍රීඩකයා ලෙස අභිෂේක ලැබීමට නියමිතව තිබූ නිසාවෙනි. දැනට එම වාර්තාව සතු වන්නේ ඉරාන පාපන්දු ක්‍රීඩක Ali Dael සතුවයි.

ආරම්භයේ පටන් තියුණු මුහුණුවරක් මෙම තරගයේ දී පෘතුගාලයේ ගෝල වාර්තා කිරීමට ආසන්න අවස්ථා කිහිපයක්ම මඟ හැරී ගිය අතර ඒ අතරට Ronaldo විසින් එල්ල කළ නිදහස් පහරක් ද අයත්.

කෙසේ නමුත් ප්‍රථම අර්ධයේ නිමාවට මොහොතකට පෙර බෙල්ජියම් ක්‍රීඩක Thorgan Hazard විසින් ගෝල රාමුවට ඉතාමත් දුරින් එල්ල කළ පහරක් කිසිදු බාධාවකින් තොරව දැල තුලට ගමන් කළේ පන්දුව ගෝල රකින්නාගේ අත් ආවරණවලට ඉතාමත් ආසන්නයෙන් ගමන් කරමින්.

ඒ සමඟ බෙල්ජියම පෙරමුණ ගනිමින් ප්‍රථම අර්ධය නිමාවට පත් වූයේ පෘතුගාලයට දැඩි පීඩනයක් එල්ල කරමිනුයි.

නැවතත් තරගයේ 77 වැනි මිනිත්තුවේ දී පෘතුගාලයට නිදහස් පහරක් ලැබුණු අතර Ronaldo විසින් එල්ල කළ පහර ගෝලයක් බවට පරිවර්තනය වුනේ නැහැ.

අවසානයේ ගෝල 1-0ක් ලෙස තරගය නිමා වුනේ වත්මන් ශූරයින් වන පෘතුගාලය ලොව අංක 1 පාපන්දු කණ්ඩායම වන බෙල්ජියම හමුවේ පරාජය වෙමින් ඔහුන්ගේ Euro ශූරතා සිහින සියල්ල බොඳව යමින්.

අවසන් ලකුණු තත්වය: බෙල්ජියම 1 – 0 පෘතුගාලය

ගෝල ලාභීන්:

  • බෙල්ජියම: Thorgan Hazard 43’

අවසන් 16 දෙනාගේ තවත් තරග දෙකක් (Croatia v Spain සහ France v Switzerland) ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රියේ දී සහ හෙට උදෑසන පැවැත්වීමට නියමිතයි. එම තරගවල තොරතුරු සඳහාත් රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<