ලෝක ශූරයන් සහ අනුශූරයන් ඉවත් කරමින් ස්විස්ටර්ලන්තය සහ ස්පාඤ්ඤය අවසන් 8ට

Euro 2020

309

යුරෝපා පාපන්දු පිටියේ ශූරයන් සොයා යන “Euro 2020” තරගාවලියේ අවසන් කණ්ඩායම් 16 වටයේ තවත් තීරණාත්මක තරග ද්විත්වයක් ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (28) රාත්‍රියේ සහ අද (29) උදෑසන පැවැත්වුනා.

එහි දී වත්මන් ලෝක ශූරයන් සහ අනුශූරයන් වන ප්‍රංශය සහ Croatiaව තරගාවලියෙන් ඉවතට ඇද දමමින් අවසන් කණ්ඩායම් 08 අතරට සුදුසුකම් ලබා ගැනීමට ස්විස්ටර්ලන්තය සහ ස්පාඤ්ඤයට හැකි වුනා.

Croatia v Spain

අමතර අතිරේක කාලයක් දක්වා ඇදී ගිය මෙම තරගයෙන් Croatiaව ගෝල 5-3ක් ලෙස පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයේ අසුනක් වෙන් කරවා ගැනීමට ස්පාඤ්ඤ ක්‍රීඩකයන්ට හැකි වුනා. 

Copenhagen හී Parken ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමු ගෝලය Croatia ක්‍රීඩකයන්ට ප්‍රදානය කිරීමට ස්පාඤ්ඤ ක්‍රීඩකයන්ට සිදු වුනේ තරගයේ 20 වැනි මිනිත්තුවේ දී ස්පාඤ්ඤ ක්‍රීඩක Pedri විසින් සිය ගෝල රකින්නා වෙත යොමු කළ පන්දුවක් ගෝල රකින ක්‍රීඩක Unai Simonට නවත්වා ගැනීමට නොහැකිව ගෝල සීමාව පසුකිරීම නිසාවෙනි.

නමුත් තරගයේ 38 වැනි මිනිත්තුවේ දී Croatia ගෝල රකින ක්‍රීඩකයා නතර කිරීමට උත්සහ කළ පන්දුවක් දඬුවම් රාමුව තුළ දී ලබාගෙන වේගවත් පහරක් ඔස්සේ ගෝලයට එල්ල කරමින් පළමු අර්ධයේ ගෝල තත්වය සම කිරීමට ස්පාඤ්ඤ ක්‍රීඩක Pablo Sarabia සමත් වුනා.

තියුණු අර්ධයකින් පසුව දෙවැනි අර්ධයට පිවිසි ස්පාඤ්ඤ ක්‍රීඩකයන් ලෝක අනුශූරයන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 57 වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය රැස්කිරීමට Cesar Azpilicuetaට හැකි වුනා.

Ferran Torres විසින් දඬුවම් රාමුවේ වම් රේඛාව ආසන්නයේ සිට ඔසවා ලබා දුන් පන්දුවක් හිසින් ගෝලයේ දකුණු කෙළවරින් දැල වෙතට එල්ල කිරීමට Cesar Azpilicuetaට හැකි වුනේ ප්‍රතිවාදී ගෝල රකින්නාට කිසිවක් සිදු කිරීමට කාලයක් ඉතුරු නොකරමින්.

තරගයේ 72 වැනි මිනිත්තුවේ දී ස්පාඤ්ඤ ක්‍රීඩක Alvaro Morata ගෝලයක් රැස්කිරීමට සමත් වූවත් එය අනිසි ස්ථානගත වීමකින් ලබා ගත් ගෝලයක් ලෙස පැති විනිසුරුවරයා තීරණය කිරීම නිසාවෙන් අවලංගු වුනා.

නමුත් එයින් කෙටි වේලාවකට පසු එනම් තරගයේ 77 වැනි මිනිත්තුවේ දී Pau Torres විසින් ලබා දුන් පන්දුවක් ගෝල රකින්නා අසලට ගෙනවිත් ඔහුගේ පාද අතරින් ගෝලයට එල්ල කිරීමට Ferran Torres සමත් වුනේ තරගයේ වැඩි ගෞරව සිය කණ්ඩායමට ගෙන දෙමින්.

දෙවැනි අර්ධයේ සිදු වූ දැඩි පසුබෑමෙන් අනතුරුව 85 වැනි මිනිත්තුවේ දී ගෝල සීමාව අසල තිබූ පන්දුවක් ගෝලයට එල්ල කරමින් සිය කණ්ඩායමට දෙවැනි ගෝලය ලබා දීමට Croatia ක්‍රීඩක Mislav Orsic සමත් වුනේ සිය කණ්ඩායමට තරගය පිළිබඳව නව බලාපොරොත්තුවක් ගෙන දෙමිනි.

සිය කණ්ඩායමට අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වූ Croatia ක්‍රීඩක Mario Pasalic තරගයේ අවසන් අතිරේක කාලය තුළ දී Mislav Orsic ලබා දුන් පන්දුවක් හිසින් ගෝලයේ දකුණු කෙළවරට එල්ල කරමින් ගෝල තත්වය සමකිරීමට සමත් වුනේ ස්පාඤ්ඤ ප්‍රේක්ෂකයන්ගේ ජයග්‍රහණ සතුට කෙටි වේලාවක් තුළ අහිමි කරමින්.

තරගයේ මුළු කාලය ගෝල සමව අවසන් වූ නිසාවෙන් අමතර අතිරේක කාලයක් ලබා දීමට විනිසුරුවන් කටයුතු කළ අතර එය ආරම්භයේම Andrej Kramaric එල්ල කළ පහරක් අතිදක්ෂ ලෙස නවතාලීමට ස්පාඤ්ඤ ගෝල රකින්නා සමත් වුනා.

ස්පාඤ්ඤ ක්‍රීඩකයන් තරගයේ පෙරමුණට ගෙන එමින් සිව්වැනි ගෝලය රැස්කිරීමට ස්පාඤ්ඤ ක්‍රීඩක Alvaro Morata සමත් වුනේ තරගයේ 100 වැනි මිනිත්තුවේ දීයි. දඬුවම් රාමුව තුළ දී ලද පන්දුවක් දක්ෂ ලෙස පාලනය කරමින් වේගවත් පහරක් ගෝලයට එල්ල කිරීමට ඔහු සමත් වුනේ ගෝල රකින්නාට නවතාලීමට කාලයක්වත් ඉතුරු නොකරමිනි.

එම ගෝලයේ උණුසුම පහව යාමත් පෙර 103 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළ සිට ගෝලයේ වම් කෙළවරට පන්දුව එල්ල කරමින් සිය කණ්ඩායමට අවසන් පූර්ව වටයේ අසුන තහවුරු කිරීමට ස්පාඤ්ඤ ක්‍රීඩක Mikel Oyarzabal සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: Croatia 3 – 5 ස්පාඤ්ඤය 

ගෝල ලාභීන්: 

  • Croatia: Pedri 24’ (Og), Mislav Orsic 85’, Mario Pasalic (90+2), 
  • ස්පාඤ්ඤය: Pablo Sarabia 38’, Cesar Azpilicueta 57’, Ferran Torres 77’, Alvaro Morata 100’, Mikel Oyarzabal 103’

France v Switzerland

දඬුවම් පහර මගින් තරගයේ ජයග්‍රහකයන් තේරූ මෙම තරගයෙන් ලෝක ශූර ප්‍රංශය එම වටයේ දී ගෝල 5-4ක් ලෙස පරදවා පෙරළිකාර ජයක් ලබා ගැනීමට ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයන් සමත් වුනා. 

Bucharest හී Arena Națională ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ලෝක ශූර ප්‍රංශය විසින් ජය ගනු ඇතැයි බොහෝ දෙනා මත පළකරත් තරගයේ 18 වැනි මිනිත්තුවේ දී පළමු ගෝලය රැස් කිරීමට ස්විස්ටර්ලන්ත ක්‍රීඩක Haris Seferovicට හැකි වුනා.

Steven Zuber අලංකාර පන්දුව පිරිනැමීමක් ඔස්සේ දඬුවම් රාමුවට යොමු කළ පන්දුවක් හිසින් සාර්ථකව ගෝලය තුළට යොමු කිරීමට Haris Seferovic සමත් වුනේ ප්‍රබල ප්‍රංශයට දැඩි පීඩනයක් ගෙන දෙමින්.

එම අර්ධය තුළ දී සිය සුපුරුදු දස්කම් අතරට පිවිසීමට ප්‍රංශ ක්‍රීඩකයන් අසමත් වීම නිසා පළමු අර්ධය ගෝල 1-0ක් ලෙස ස්විස්ටර්ලන්තයට පෙරමුණ ගෙන දෙමින් අවසන් වුනා.

පළමු අර්ධයේ සිදු වූ අඩුපාඩු නිවැරදි කරගැනීමේ අදිටනින් ප්‍රංශ ක්‍රීඩකයන් දෙවන අර්ධයට පිවිසියත් තරගයේ 54 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහර අවස්ථාවක් ස්විස්ටර්ලන්තයට ලබා දීමට විනිසුරුවරයා කටයුතු කළේ ප්‍රංශ ප්‍රේක්ෂකයන්ගේ හදවත ද මොහොතකට නතර කරමින්.

නමුත් ස්විස්ටර්ලන්ත ක්‍රීඩක Ricardo Rodriguez එල්ල කළ එම් දඬුවම් පහර ඉතා දක්ෂ ලෙස නතර කිරීමට ප්‍රංශ ගෝල රකින ක්‍රීඩක Hugo Lloris සමත් වුනේ සිය ක්‍රීඩකයන්ට නව පන්නරයක් ගෙන එමිනි.

එම අවස්ථාවෙන් කෙටි වේලාවට පසු ක්‍රියාත්මක වූ ප්‍රංශ ඉදිරි පෙළ ක්‍රීඩක Karim Benzema මිනිත්තු දෙකක් තුළ ගෝල ද්විත්වයක් ලබා ගනිමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ඒමට සමත් වුනා.

57 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළ දී ලද පන්දුවක් ස්විස්ටර්ලන්ත පසුපෙළ ක්‍රීඩකයා සහ ගෝල රකින්නා පසුකරමින් ගෝලයට එල්ල කළ Benzema නැවතත් තරගයේ 59 වැනි මිනිත්තුවේ දී ගෝල රකින්නාගේ අතේ වැදී ගෝල සීමාව ආසන්නයට පැමිණි පන්දුවක් හිසින් ගෝලය තුළ සාර්ථකව යොමු කළා.

ස්විස්ටර්ලන්තය ක්‍රීඩකයන්ට තවත් වැඩි පීඩනයක් එල්ල කරමින් සිය කණ්ඩායම වෙනුවෙන් තෙවැනි ගෝලය රැස් කිරීමට ප්‍රංශ ක්‍රීඩක Paul Pogba සමත් වුනා. 

තරගයේ 75 වැනි මිනිත්තුවේ දී දඬුවම් සීමාවෙන් පිටත සිට අලංකාර පහරකින් පන්දුව ගෝලයේ දකුණු කෙළවරින් දැල වෙත යොමු කිරීමට ඔහු සමත් වුනේ ප්‍රතිවාදී ප්‍රේක්ෂකයන් ද අමන්දානන්දයට පත් කරමිනි.

සිය කණ්ඩායමට නැවතත් තරගය පිළිබඳව බලාපොරොත්තුවක් ගෙන දෙමින් දඬුවම් රාමුවට පැමිණි පන්දුවක් හිසින් ගෝලයට එල්ල කිරීමට ස්විස්ටර්ලන්ත ක්‍රීඩක Haris Seferovic 81 වැනි මිනිත්තුවේ දී සමත් වුනා.

එම ගෝලයෙන් පසු ප්‍රංශ ක්‍රීඩකයන් තරමක ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළත්, තරගයේ 90 වැනි මිනිත්තුවේ දී ගෝලයේ වම් කෙළවරින් දැල වෙත යොමු කරමින් ගෝල තත්වය සම කිරීමට Mario Gavranovic සමත් වුනේ ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගේ සතුට කෙටි වේලාවක් තුළ දී අහිමි කරමින්.

තරගයේ අවසන් අතිරේක කාලය තුළ දී ප්‍රංශ ක්‍රීඩක Kingsley Coman එල්ල කළ පහරක් ගෝල රාමුවෙහි ඉහළ කොටසේ වැදී ඉවතට යාම නිසාවෙන් ගෝල සමව මුළු කාලය අවසන් කිරීමට සිදු වුනා.

එම නිසාවෙන් ලබා දුන් අමතර අතිරේක කාලය තුළ දී ප්‍රංශ ක්‍රීඩකයන් එල්ල කළ පහරවල් කිහිපයක්ම සාර්ථකව නවතාලීමට ස්විස්ටර්ලන්තය දැල් රකින්නා සමත් වූ අතර ගෝලයක් ලබා ගැනීමට තිබූ ඉතා පහසු අවස්ථාවක් Kylian Mbappeට මගහැරී ගියා. 

ස්විස්ටර්ලන්තයට ද කිසිදු ගෝලයක් රැස් කිරීමට නොහැකි වීම නිසා තරගයේ අවසන් ප්‍රතිඵලය ලබා ගැනීමට දඬුවම් පහර අවස්ථාවන් ලබා දීමට විනිසුරුවන් කටයුතු කළ අතර පළමු පහර එල්ල කිරීමේ අවස්ථාව හිමි වුනේ ස්විස්ටර්ලන්තයටයි.

ස්විස්ටර්ලන්තය වෙනුවෙන් දඬුවම් පහර අවස්ථාවන් පහම සාර්ථකව අවසන් කිරීමට Mario Gavranovic, Fabian Schar,Manuel Akanji, Hugo Lloris සහ Admir Mehmedi යන ක්‍රීඩකයන් සමත් වූ අතර ප්‍රංශය වෙනුවෙන් පළමු දඬුවම් පහරවල් හතරම ඉතා සාර්ථකව එල්ල කිරීමට Presnel Kimpembe, Paul Pogba,Olivier Giroud සහ Marcus Thuram යන ක්‍රීඩකයන්ට හැකි වුනා.

ප්‍රංශය වෙනුවෙන් තීරණාත්මක දඬුවම් පහර අවස්ථාව එල්ල කිරීමේ වගකීම ලබා ගත් සුපිරි ක්‍රීඩක Kylian Mbappe එල්ල කළ පහර අති දක්ෂ ලෙස වළක්වමින් සිය කණ්ඩායමට පෙරළිකාර ජයක් ගෙන ඒමට ස්විස්ටර්ලන්ත ගෝල රකින ක්‍රීඩක Yann Sommer සමත් වුනේ තවත් ප්‍රබලයකුට යුරෝපා සිහිනය අහිමි කරමිනි.

අවසන් ලකුණු තත්වය: ප්‍රංශය 3 – 3 ස්විස්ටර්ලන්තය 

ගෝල ලාභීන්: 

  • ප්‍රංශය: Karim Benzema 57’ & 59’, Paul Pogba 75’ 
  • ස්විස්ටර්ලන්තය: Haris Seferovic 18’ & 81’, Mario Gavranovic 90’ 

දඬුවම් පහර: 

  • ප්‍රංශය:  Presnel Kimpembe, Paul Pogba,Olivier Giroud, Marcus Thuram
  • ස්විස්ටර්ලන්තය: Mario Gavranovic, Fabian Schar,Manuel Akanji, Hugo Lloris, Admir Mehmedi

තරගාවලියේ කණ්ඩායම් 16 වටයේ තවත් තරග ද්විතවයක් ශ්‍රී ලංකා වේලාවෙන් අද (29) රාත්‍රියේ සහ හෙට (30) උදෑසන පැවැත්වීමට නියමිතයි. එම තරගවල තොරතුරු සඳහාත් රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<