සාන්ත සේවියර් ක්‍රීඩකයෝ 17න් පහළ ශූරතාවය මාරවිලට රැගෙන යති

284

හුංගම විජයබා ජාතික පාසල තරග වට 3/0ක් ලෙස පරාජය කරමින් ශූරතාවය ජයග්‍රහණය කරන්නට සාන්ත සේවියර් ක්‍රීඩකයින් අද (24) සමත් විය. ඒ 17 වැනි වරටත් පවත්වනු ලබන “DSI සුපර්ස්පෝට්ස් වොලිබෝල් තරගාවලියේ” වයස අවුරුදු 17න් පහළ බාලක අවසන් මහා තරගයේ දී යි.

17න් පහළ බාලිකා ශූරතාවය ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයට

2017 වසර සඳහා වන DSI වොලිබෝල් තරගාවලිය යටතේ වයස අවුරුදු 17න් පහළ බාලිකා…

මාරවිල සාන්ත සේවියර් විදුහල කවදත් පාසල් වොලිබෝල් ක්‍රීඩාවේ නමක් දිනා සිටින පාසලක් වන අතර හුංගම විජයබා විදුහල ද ඊට නොදෙවෙනි ලෙස වොලිබෝලයෙන් දස්කම් දක්වා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් පරිවරා ගත් පාසලකි.

මහරගම තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩා පිටියේ දී පැවති අවසන් මහා තරගය සඳහා විජයබා විදුහල සහ සාන්ත සේවියර් විදුහල සුදුසුකම් සපුරා ගත්තේ පිළිවෙළින් රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විදුහල සහ තල්වත්ත අභිනව කනිෂ්ඨ විද්‍යාලය පරාජය කරමිනි.

අවසන් මහා තරගයේ පළමු වටයෙන්ම පෙරමුණ ගැනීමට සාන්ත සේවියර් විදුහල් ක්‍රීඩකයින් සමත් විය. එම වටය 25-17ක් ලෙස නිමාවට පත්විය.

තරගයේ දෙවැනි වටයේ දී සේවියර් විදුහල් ක්‍රීඩකයින් දමනය කරන්නට විජයබා ක්‍රීඩකයින් මාන බැලූ නමුත් එම වටය නිමා වූයේ 25-21ක් ලෙස සාන්ත සේවියර් විදුහල් කණ්ඩායමට ජයග්‍රහණය හිමි වෙමිනි.

කෙසේ නමුත් තීරණාත්මක තෙවැනි වටයේ දී විජයබා ක්‍රීඩකයින් ප්‍රබල ප්‍රතිවාදීන් හමුවේ අසරණ වූ බවක් පෙනෙන්නට තිබුණු අතර 25-13ක් ලෙස එම වටයත් සාර්ථකව නිමා කළ සාන්ත සේවියර් ක්‍රීඩකයින් සමස්ත වයස් කාණ්ඩයේ බාලක ශූරතාවය දිනා ගන්නට සමත් විය.

මෙම වයස් කාණ්ඩයේ බාලක තෙවැනි ස්ථානය දිනා ගැනීමට රුවන්වැල්ල රාජසිංහ විදුහල සමත් වූයේ 24-26ක්, 25-20ක් සහ 25-15ක් ලෙස අභිනව කනිෂ්ඨ විදුහල පරජය කරමිනි.

මෙම වයස් කාණ්ඩයේ දක්ෂතම පන්දු සකසන්නා ලෙස සාන්ත සේවියර් විදුහලේ නවෝද් කෞෂල්‍ය සම්මාන දිනා ගත් අතර හොඳම ප්‍රහාරකයා ලෙස එම පාසලේ ම ක්‍රීඩක සමිත් ප්‍රමුදිත සම්මාන දිනා ගන්නා ලදි. තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මිලින්ද නිර්මාල් (සාන්ත සේවියර්) සම්මාන දිනා ගන්නා ලදි.

අවසන් මහා තරගය:

  • සාන්ත සේවිර් විදුහල සහ විජයබා ජාතික පාසල (25-17, 25-21, 25-13)

අවසන් පූර්ව තරග

  • විජයබා ජාතික පාසල සහ රාජසිංහ මධ්‍ය විද්‍යාලය (25-15, 25—15)
  • සාන්ත සේවියර් විදුහල සහ අභිනව කනිෂ්ඨ විදුහල (25-07, 25-17)

තෙවැනි ස්ථාන සඳහා වන තරගය:

  • රාජසිංහ මධ්‍ය විදුහල සහ අභිනව කනිෂ්ඨ විදුහල (24-26,25-20, 25-15)

සම්මාන ප්‍රදානය:

  • දක්ෂතම පන්දු ඔසවන්නා: නවෝද් කෞෂල්‍ය (සාන්ත සේවියර්)
  • දක්ෂතම ප්‍රහාරකයා: සමිත් ප්‍රමුදිත (සාන්ත සේවියර්)
  • දක්ෂතම ක්‍රීඩකයා: මිලින්ද නිර්මාල් (සාන්ත සේවියර්)

 >> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<