දිමුත් කරුණාරත්න එංගලන්තයට

1152

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න එළඹෙන එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ දී Nottinghamshire County ක්‍රිකට් සමාජයේ විදෙස් ක්‍රීඩකයා ලෙස තෝරාගෙන තිබෙන බව වාර්තා වෙනවා.

කරුණාරත්න තවත් සතියක කාලයක් ඇතුළත Nottinghamshire County සමාජය සමඟ එකතු වීමට බලාපොරොත්තුවෙන් සිටින නමුත්, ඔහුගේ වීසා ලැබෙන තෙක් ඔහු තවමත් ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් නැහැ.

පවතින COVID-19 වයිරසයේ ගෝලීය ව්‍යාප්තිය නිසා එක්සත් රාජධානියට ඇතුළත් වීම සඳහා රටවල් කිහිපයක සිට පැමිණෙන සංචාරකයින් සඳහා දැඩි සීමා පනවා තිබෙන අතර ශ්‍රී ලංකාව ද එම ලැයිස්තුවට ඇතුළත්ව තිබෙනවා. ඒ නිසාවෙන් කරුණාරත්නට එක්සත් රාජධානියට යාම සඳහා වීසා ලබා ගැනීම යම් ප්‍රමාදයකට ලක්ව තිබෙන බව ද දැනගන්නට ලැබෙනවා.

2021 එංගලන්ත County Championship හි මූලික වටය මේ වන විට අවසන්ව තිබෙන අතර තරගාකාරී පළමු පෙළ (Division One) තරග වටය මේ මස 30 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 

කරුණාරත්න ක්‍රීඩා කිරීමට නියමිත Nottinghamshire County කණ්ඩායම තරගාවලියේ මූලික වටය අවසන් කළේ පළමු කාණ්ඩයේ (Group 1) පළමුවැන්නා ලෙසයි. එහි දී ඔවුන් තරග 10කට සහභාගී වී ඉන් තරග 4ක් ජයග්‍රාහීව අවසන් කරමින් ප්‍රසාද ලකුණු 151ක් දිනා ගත්තා. 

කරුණාරත්න ශ්‍රී ලංකාවෙන් එපිට දී ටෙස්ට් තරග ක්‍රීඩා කර තිබෙන නමුත් පළමු පෙළ ක්‍රිකට් තරගයක් සඳහා ක්‍රීඩා කරනු ලබන පළමු අවස්ථාව මෙයයි. මීට පෙර 2019 වසරේ දී ඉන්දීය ක්‍රීඩක R. Ashwin Nottinghamshire County වෙනුවෙන් ක්‍රීඩා කළ අතර එයට පසුව අද දක්වා එකඳු ආසියාතික ක්‍රීඩකයෙක් හෝ මේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර නැහැ. 

1841 වසරේ දී ආරම්භ වූ ඉපැරණි ක්‍රිකට් සමාජයක් වන Nottinghamshire County හි ඉතිහාසය පිරික්සා බැලීමේ දී මේ කණ්ඩායම නියෝජනය කරනු ලබන දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වීමේ අවස්ථාව කරුණාරත්නට ලැබී තිබෙනවා. එවකට Ceylon නාමය යටතේ ක්‍රීඩා කළ කණ්ඩායමේ සාමාජිකයෙක් වුනු ගාමිණී ගුණසේන එහි පළමුවැන්නායි. 

2021 වසරේ ඉතිරි මාස කිහිපය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතව නැහැ. එසේම කරුණාරත්න හට මේ තරගාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබුනහොත් එය ඔහුගේ ඉදිරි ටෙස්ට් ක්‍රිකට් දිවියට සහ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ අනාගතයට එය ඉතාමත් හොඳ අඩිතාලමක් වනු නිසැකය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<