මලියදේවයින්ට සුපිරි ආරම්භයක්

219

2020 ඩයලොග් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ B කාණ්ඩය යටතේ ඊයේ (06) කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර පැවති තරගය ලකුණු 31-12ක් වශයෙන් ජය ගැනීමට මලියදේව ක්‍රීඩකයින් සමත් වුනා.

තර්ස්ටන් ප්‍රහාරයෙන් මරාදාන විරුවන් අසරණ වෙයි

ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් අද (06) දින රාජගිරියේ පිහිටි……

සවස් යාමයේ දී ආරම්භ වූ තරගයේ මුල් කාලයේ කිසිදු විශේෂත්වයක් දක්නට නොලැබුණු අතර දෙපිලෙහිම ක්‍රීඩකයින් ලකුණු අතරට පැමිණීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ විය. කෙසේ වෙතත් පළමු මිනිත්තු දහය අවසන් වනවාත් සමඟ ඇලෝසියස් ක්‍රීඩකයෙකු අතින් සිදු වූ අතපසු වීමක් නිසා ලැබූ දඬුවම් පහරක් නිවැරදි එල්ලයට යොමු කරමින් තරගයේ පළමු ලකුණු වාර්තා කිරීමට හිමිකම් කීමට මලියදේව විද්‍යාලයේ කෞෂල්‍ය ගුණවීර සමත් වුනා. (මලියදේව 03 – 00 ඇලෝසියස්)

මෙම ලකුණු ලබා ගැනීමෙන් අනතුරුව සැලකිය යුතු කාල වේලාවක් ගතවන තෙක් තමන්ගේ ගෝල සීමාවට සේන්දු වීමට දෙපිලම අපොහොසත් වූයේ ඔවුනොවුන් එකිනෙකා කෙරෙහි දැක්වූ ඉහල ප්‍රතිරෝධය නිසාවෙනි. 

අන්ත ද්විත්වයේ මීටර 10 රේඛාවන් අතර කලාපයට සිර වී සිටි ඔවුන් අතරින් මලියදේව විද්‍යාලයේ අංජන ඇලගොන්න සිය ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාසය උපයෝගී කරගනිමින් තම කණ්ඩායමට පිටියේ පෙරමුණ ගැනීමට ඉඩ සලස්වා දුන්නා. 

මෙහි දී උපරිම ප්‍රයෝජනය ගෙන තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට මලියදේව නායක සිතික හේරත් හට හැකි වූ අතර එහි ප්‍රවර්තනය කෞෂල්‍යය ගුණවීරගේ පාදයෙන් සාර්ථකව එල්ල විය. (මලියදේව 10 – 00 ඇලෝසියස්)

නැවත වතාවක් මන්දගාමී අන්දමින් තරගය ඇදී යන්නට වූ අතර ඇලෝසියස් ක්‍රීඩකයින් තමන් සිටි පසුගාමී ස්ථානයෙන් ඉදිරියට පැමිණීමට ගත් උත්සාහයන් සියල්ලම ව්‍යර්ථ කිරීමට මලියදේව ක්‍රීඩකයින් දැඩි වෙහෙසක් ගනු ලැබුවා. 

මෙතැන් පටන් පළමු අර්ධයේ අවසානය ළඟා වන තෙක් මලියදේවයින් සිය ගෝලය ආසන්නයේ සිට තරග කරනු ලැබුවේ තමන් සතු උපරිම ශක්තිය මුදා හරිමිනි. 

රැන්ඩ්ල්ස් හිල් සෙබළුන් ඉදිරියේ ජෝසප් මෙහෙයුම අසාර්ථක වෙයි

2020 ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තවත් එක් තීරණාත්මක තරගයක් කොළඹ හැව්ලොක්……

සිය ප්‍රතිවාදීන්ගේ කිසිදු බලපෑමකට යටත් නොවූ ඔවුන් වඩ වඩාත් ගෝල සීමාවට ආසන්න වූ අතරවාරයක දී පන්දුව සිය සඟයෙකුගේ අතින් ලබා ගත් අංජන ඇලගොන්න සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කළේ මලියදේව විද්‍යාලයේ ඉදිරිය සුබවාදී බව සනාථ කරමිනි. එහි ප්‍රවර්තනය නැවත වතාවක් සාර්ථකව එල්ල කරනු ලැබුවේ කෞෂල්‍යය ගුණවීර විසිනුයි. 

පළමු අර්ධය: මලියදේව විද්‍යාලය 17 – 00 සාන්ත ඇලෝසියස් විද්‍යාලය

පළමු අර්ධයේ කිසිඳු ලකුණු ලබා ගැනීමක් සිදු කිරීමට අපොහොසත් වූ සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයින් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් මෙම අර්ධයේ දී විශාල උත්සහයක් දැරීමට යුතුව තිබුණි. මලියදේව කණ්ඩායම තමන්ගේ සුපුරුදු සැලසුම ක්‍රියාත්මක කරමින් ලකුණු කරා වේගයෙන් හඹා යාමට මගක් විවර කරගැනීමට කල් යල් බලමින් සිටියා. 

කිසිවෙකුට නොදැනෙන අන්දමින් පන්දුව සිය ගෝල අන්තයට ගෙන යාමට ඇලෝසියස්වරුන් හට මග පාදා දීමට ධනංජය සහ ලසිත් යන ක්‍රීඩකයින් යම් තැතක් දරනු දක්නට ලැබුණා. 

ඇලෝසියස් ගෝල අන්තයේ මීටර 10 රේඛාව ආසන්නයේ දී ලයින් අවුට් අවස්ථාවකින් වාසියක් ලබා ගත් ඔවුන් ඉතා වේගයෙන් ගෝලය ආක්‍රමණය කළ අතර ඇලෝසියස් ක්‍රීඩක සාලිය බණ්ඩාර තම විද්‍යාලයේ ගෞරවය ආරක්ෂා කරගනිමින් ඔවුන්ගේ කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම උත්සාහක දිනුම ලබා ගත්තා. නමුත් මෙහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (මලියදේව 17 – 05 ඇලෝසියස්)

තරගයේ පෙර අර්ධයේ මෙන්ම මෙහි දී ද ඇලෝසියස් කණ්ඩායම යම් යම් අත්වැරදීම් සිදු කිරීම නිසා ඒවායින් බොහෝ වාසි අත්කර ගැනීමට ප්‍රතිවාදී මලියදේවයින් හට හැකි විය. 

කෙමෙන් කෙමෙන් තවත් ලකුණු ලබා ගැනීමේ ඉඩක් ලැබූ ඔවුන් තම ගෝල රේඛාවට මීටර කිහිපයක දුරකින් සිටිය දී රක් ක්‍රමවේදයේ උපකාරයෙන් උත්සාහක දිනුමක් ලබා ගත්තේ එහි ගෞරවය අංජන ඇල්ගොන්න හට ද ප්‍රවර්තනයේ හිමිකාරිත්වය නැවතත් කෞෂල්‍යය ගුණවීර ද ලබා දෙමිනි. (මලියදේව 24 – 05 ඇලෝසියස්)

තරගය මේ වන විටත් ඇලෝසියස් පිලෙන් ගිලිහී යමින් තිබෙනු දක්නට ලැබුණු අතර ඔවුන්ගේ ක්‍රීඩා විලාසය උච්ච බවකින් තොර විය. මෙහි බරපතලකම ඔවුන්ට වඩාත් දැනෙන්නට වූයේ තරගය අවසාන වීමට තවත් විනාඩි 12ක් පමණ ඉතිරිව තිබූ බැවිනි. 

වෙස්ලි “ද්විත්ව නිල් අකුණු සැරය” 2020 දවා අළු කරන්න සූදානම්

පාසල් රග්බි පිටියේ අභිමානවත් කණ්ඩායමක් වන කොළඹ වෙස්ලි විද්‍යාලයීය රග්බි කණ්ඩායම සිය මංගල…..

එම කාලය තුල දී ප්‍රතිවාදීන් හට ප්‍රබල බලපෑමක් එල්ල කිරීමට මගක් සොයමින් සිටින විටෙක දී ඔවුන්ගේ නායක සාලිය බණ්ඩාර තනි මෙහෙයුමක් දියත් කරමින් සිටියා. එහි ප්‍රතිඵලය වූයේ සාලිය විසින් තම කණ්ඩායම වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම ද වාර්තා කිරීමයි. මෙහි ප්‍රවර්තනය සියුම් අන්දමින් ලබා ගැනීමට ඒ. කේ. ගුණතිලක සමත් වුනා. (මලියදේව 24 – 12 ඇලෝසියස්)

මෙසේ දියත් වෙමින් තිබූ තරගය නිමාව දකිමින් තිබුණු අතර ඇලෝසියස්වරුන් හට තරගය අතිශයින් අවාසිදායක අන්දමින් ක්‍රියාත්මක වූවා. පන්දුව අතින් අත ගෙන යාමේ දී සිදු කල දෝෂ ඊට හේතු විය. කිහිප වතාවක් ඔවුන් අතින් පන්දුව අත්වැරදීම් නිසා ගිලිහී ගොස් ප්‍රතිවාදීන්ගේ අතට පත් වනු දක්නට ලැබුණා. 

මෙසේ තමන්ගේ ජයග්‍රහණය තහවුරු වෙමින් තිබිය දී අනවශ්‍ය ලෙස උද්දාමයට පත් නොවූ මලියදේව ක්‍රීඩකයින් උපක්‍රමශීලීව තවත් ලකුණු රැස් කිරීමට උනන්දු වූවා. දුර්වල ලෙස ක්‍රීඩා කරමින් සිටි ඇලෝසියස් ක්‍රීඩකයින් පසුබස්වමින් ඔවුන්ගේ අතින් පන්දුව ඩැහැගත් මලියදේව නායක සිතික හේරත් සිය වගකීම මනාව ඉටු කරමින් කෞෂල්‍යයගේ ප්‍රවර්තනයෙන් හැඩ වූ ඔහුගේ දෙවන උත්සාහක දිනුම ද කණ්ඩායම වෙනුවෙන් ලබා ගත්තා.

මේ අනුව ලකුණු 19ක පරතරයක් සහිතව තරගය සුපිරි ලෙස ජයග්‍රහණය කිරීමට මලියදේව විද්‍යාලයීය රග්බි කණ්ඩායම සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: මලියදේව විද්‍යාලය 31 (4T, 4C, 1P) – 12 (2T, 1C) ඇලෝසියස් විද්‍යාලය 

ලකුණු ලබා ගැනීම

මලියදේව විද්‍යාලය: සිතික හේරත් 2T, අංජන අලගොන්න 2T, කෞෂල්‍යය ගුණවීර 4C, 1P

සාන්ත ඇලෝසියස් විද්‍යාලය: සාලිය බණ්ඩාර 2T,  ඒ. කේ. ගුණතිලක 1C

 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<