ගුවන් තටු සිඳිමින් හැව්ලොක් ක්ලිෆර්ඩ් කුසලානය ඩැහැ ගනී

413
Havelock SC

2019 ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියට සුපිරි අවසානයක් ලබා දෙමින් ගුවන් හමුදා කණ්ඩායමට ලකුණු 40-21ක් ලෙස පරාජය කරන්නට හැව්ලොක් ක්‍රීඩා සමාජය අද (24) කොළඹ තුරඟ තරග පිටියේ දී සමත් විය.

දැවැන්ත ජයක් සමඟින් හැව්ලොක් ක්‍රීඩා සමාජය අවසන් තරගයට

මෙම වසරේ (2019) ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ලෙස යුධ හමුදා ක්‍රීඩා…

2000 වසරෙන් පසු හැව්ලොක් ක්‍රීඩා සමාජය ක්ලිෆර්ඩ් කුසලානයක් දිනූ පළමු අවස්ථාව මෙය වන අතර ගුවන් හමුදා කණ්ඩායම 80 දශකයෙන් පසු අවසන් මහා තරගයට පිවිසුණු පළමු අවස්ථාවත් මෙය විය.

පොලිස් කණ්ඩායමට නොසිතූ පරාජයක් අත්කර දෙමින් ගුවන් හමුදා ක්‍රීඩකයෝ අවසන් මහා තරගයට පිවිසුණු අතර යුධ හමුදා කණ්ඩායමට දැවැන්ත පරාජයක් අත්කර දෙමින් හැව්ලොක් ක්‍රීඩකයින් අවසන් මහා තරගයට පිවිසීමට සමත් විය.

ගයන්ත ඉද්දමල්ගොඩගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර ඉහළ ගිය පන්දුව සාර්ථකව රැක ගන්නට හැව්ලොක් ක්‍රීඩකයින් සමත් වූයේ නැත. කෙසේ වෙතත් ලද පළමු අවස්ථාවෙන්ම සිව්වැනි මිනිත්තුවේ දී ලකුණු රැස් කරන්නට මිතුන් හපුගොඩ සමත් විය. ගුවන් අර්ධයේ හිමි වූ පළමු සක්‍රම් අවස්ථාවෙන්ම ලකුණු රැස් කරන්නට හැව්ලොක් ක්‍රීඩකයින් සමත් වූ අතර රීසා මුබාරක් අලංකාර ලෙස අමතර ලකුණු එකතු කරන්නට සමත් විය. (හැව්ලොක් 07-00 ගුවන්)

කෙසේ වෙතත් පළමු මිනිත්තු දහය පුරාම ගුවන් හමුදා ක්‍රීඩකයින් පන්දුව කිහිපවරක්ම හැව්ලොක් ක්‍රීඩකයින්ට පූජා කළේ ඉතා වැදගත් අවස්ථාවල පන්දුව බිම අතහරිමිනි.

කෙසේ වෙතත් 10 වැනි මිනිත්තුවේ දී ගුවන් හමුදා ක්‍රීඩකයින්ට දඬුවම් උත්සාහක දිනුමක් ලබා දෙන්නට විනිසුරු තීරණය කරන ලදි. ඒ උත්සාහක දිනුම් රේඛාව ආසන්නයේ දී Line out අවස්ථාවක් සාර්ථක කර ගනිමින් ගුවන් හමුදා ක්‍රීඩකයින් ගොඩනැගූ Rolling Maul අවස්ථාවක් හැව්ලොක් ක්‍රීඩකයින් නීති විරෝධිව බිම හෙළීම නිසාවෙනි. ඒ අතරම හැව්ලොක් ක්‍රීඩක අසිත ගයාෂාන් හට කහ කාඩ්පතක් ද හිමි වුනේ ගුවන් හමුදා ක්‍රීඩකයින්ට අමතර වාසියක් වෙමිනි. (හැව්ලොක් 07-07 ගුවන්)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

අමතර වාසියක් හිමි වුනත් නැවත තරගය ආරම්භ කිරීම ගුවන් හමුදා ක්‍රීඩකයින්ට එතරම් සාර්ථක වූයේ නැත. හැව්ලොක් ක්‍රීඩකයින් පන්දුව රැකගෙන දිගින් දිගටම ආක්‍රමණය කළේ ගුවන් ක්‍රීඩකයින්ට නැවත සංවිධානය වීමටවත් ඉඩක් ලබා නොදෙමිනි. දඬුවම් පහරක් Line out අවස්ථාවක් බවට හරවා ගත් හැව්ලොක් ක්‍රීඩකයින් සිය ඉදිරිපෙළ මගින් 12 වැනි මිනිත්තුවේ දී යළි ලකුණු රැස් කරන්නට සමත් විය. සයාන් සබාර් එම උත්සාහක දිනුම රැස් කළ අතර රීසා නැවත වරක් පන්දුව අලංකාර ලෙස ගෝල කණු අතරින් යවන්නට අමතක කළේ නැත. (හැව්ලොක් 14-07 ගුවන්)

හැව්ලොක් ක්‍රීඩකයින් දිගින් දිගටම ආක්‍රමණයේ යෙදුණු අතර 18 වැනි මිනිත්තුවේ දී පිටියේ දකුණු කොනේ සීමා කොඩිය අසළින්ම ලකුණු රැස් කරන්නට චාමර දාබරේ සමත් විය. පිටිය කොනේ හිමි වූ ඉතා අපහසු දඬුවම් පහරක් අලංකාර ලෙස ගෝල කණු අතරින් පා කර හරින්නට රීසා මුබාරක් සමත් විය. (හැව්ලොක් 21-07 ගුවන්)

කෙසේ වෙතත් අතපසුකිරීම් රාශියකට පසු ක්‍රියාත්මක වූ ඉෂාර මධුශාන් ස්ක්‍රම් අවස්ථාවකින් පන්දුව ලබා ගනිමින් අලංකාර ලෙස ලකුණු රැස් කළේ පළමු අර්ධය නිමා වීමට පෙර නැවත වතාවක් ක්‍රියාත්මක වෙමිනි. චරිත් සෙනෙවිරත්න අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (හැව්ලොක් 21-14 ගුවන්)

පළමු අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 21 (3T, 3C) – 14 (1PT, 1T, 1C) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේ දී ම හැව්ලොක් කණ්ඩායමට දඬුවම් පහර දෙකක් හිමි වූ අතර රීසා මුබාරක් තවත් ලකුණු හයක් ලකුණු පුවරුවට එකතු කළේ ලකුණු පරතරය තවත් වැඩි කරමිනි. (හැව්ලොක් 27-14 ගුවන්)

කෙසේ වෙතත් තරගය පුරාවට පන්දුව අතහරිමින් හැව්ලොක් කණ්ඩායමට පන්දුව පූජා කළ ගුවන් ක්‍රීඩකයෝ එම අත්වැරැද්ද දිගටම සිදු කළේ දෙවන අර්ධයේ වැඩි කාලයක් හැව්ලොක් කණ්ඩායමට එරෙහිව ලකුණු ආරක්ෂා කරමිනි.

55 වැනි මිනිත්තුවේ දී ගුවන් හමුදා ක්‍රීඩකයින් උත්සාහක දිනුම් සීමාව අසලටම ගියත් සීමාව අසලම පන්දුව knock on අවස්ථාවකට ලක් වුනේ අවාසනාවන්ත ලෙසයි. කෙසේ වෙතත් ඉන් තත්පර කිහිපයකට පසුව ලකුණු දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ගුවන් සෙබළුන් සිය ඉදිරිපෙළ මගින් ලකුණු රැස් කළේ නැවතත් තරගයට පිවිසෙමිනි. තිළිණ බණ්ඩාර එම උත්සාහක දිනුම වාර්තා කළ අතර චරිත සෙනෙවිරත්න අමතර ලකුණු රැස් කිරීමට සමත් විය. (හැව්ලොක් 27-21 ගුවන්)

දැවැන්ත ජයක් සමඟින් හැව්ලොක් ක්‍රීඩා සමාජය අවසන් තරගයට

මෙම වසරේ (2019) ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ලෙස යුධ හමුදා ක්‍රීඩා…

ලකුණු රැස් කිරීමෙන් පසු නැවත වතාවක් මන්දගාමී වූ ගුවන් සෙබළුන් නැවත වතාවක් පන්දුව හැව්ලොක් කණ්ඩායමට පූජා කළ අතර 60 වැනි මිනිත්තුවේ දී සඳුන් හේරත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියත් විනිසුරු තීරණය කළේ පන්දුව held up අවස්ථාවකට ලක් වූ බවයි. ලැබුණු දෙවන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ස්ක්‍රම් අවස්ථාවේ සිට හපුගොඩගේ පන්දු යොමු කිරීමක් ලකුණු බවට පරිවර්තනය කරන්නට ලසිඳු ඉශාන් කරුණාතිලක සමත් විය. රීසා පහසුවෙන් එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නා ලදි. (හැව්ලොක් 34-07 ගුවන්)

තමාට ලැබුණු හත්වැනි පන්දුවට පා පහර දීමත් අතිසාර්ථක කර ගත් රීසා මුබාරක් අලංකාර ලෙස තුන්වැනි වරටත් දඬුවම් පහරක් මගින් ලකුණු රැස් කළේ තරගය සම්පූර්ණයෙන්ම ගුවන් හමුදාවෙන් ඉවතට රැගෙන යමිනි.

තරගය ලකුණු සමඟ අවසන් කරන්නට හැව්ලොක් ක්‍රීඩා සමාජයට අවසන් මිනිත්තුවේ තවත් දඬුවම් පහරක් හිමි වූ අතර රීසා මුබාරක් ඉතා පහසුවෙන් පන්දුව ගෝල කණු අතරින් ගුවන් ගත කළේ හැව්ලොක් ක්‍රීඩා සමාජය 2018/19 ක්ලිෆර්ඩ් කුසලාන රග්බි ශූරයින් බවට පත් කරමිනි.

අවසන් ලකුණු තත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 40 (4T, 4C, 4P) – 21 (1PT, 2T, 2C) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • හැව්ලොක් ක්‍රීඩා සමාජය – මිතුන් හපුගොඩ (1T), සයාන් සබාර් (1T), චාමර දාබරේ (1T), ලසිඳු කරුණාතිලක (1T), රීසා මුබාරක් (4C, 4P)
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – ඉෂාර මධුශාන් (1T), තිළිණ බණ්ඩාර (1T), චරිත සෙනෙවිරත්න (2C)

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<