උත්කර්ෂවත් ක්‍රිකට් සම්මාන උළෙලේ වැඩි ගෞරවය ඇන්ජලෝ මැතිව්ස්ට

431
Dialog Cricket Awards 2016 reported

ඩයලොග් ආසිආටා සමාගමේ පූර්ණ අනුග්‍රහය ඇතිව සංවිධාන කෙරුණු 2016 ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල අතිඋත්කර්ෂවත් අයුරින් අද (30)පස්වරුවේ පැවැත්වුණි. 2015 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්ෂතා ඇගයීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ මෙම සම්මාන උළෙලේ උච්ඡතම අවස්ථාව සටහන් කරමින් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. මැතිව්ස් මෙම සම්මානය දිනාගත් 3 වන අවස්ථාව මෙය වන අතර දිනයේ පිරිනැමුණු සම්මාන 17 අතරින් සම්මාන ත්‍රිත්වයකම අයිතියද ඔහුට හිමිවීම කැපී පෙනුනි.

පසුගිය ලිපි: තුන්කොන් එක්දින තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට

විචිත්‍රවත් සංස්කෘතිකාංග රැසකින්ද හැඩවී, ඉතා වර්ණවත් ලෙස සංවිධාන කර තිබු උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතායි. එමෙන්ම තවත් ගෞරවනීය ආරාධිතයෙකු ලෙස පාකිස්තානු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටින ලදී. ඔවුන් දෙපලට අමතරව ඩයලොග් ආසිආටා සමාගමේ ප්‍රධාන විධායක නිළදාරී ආචාර්ය හාන්ස් විජේසූරිය, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය හාරිස් ඇතුළු සියලු ආරාධිතයන් පිළිගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන්, සභාව ආමන්ත්‍රණය කලේ ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතායි.

ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ පළමු සම්මානය සඳහා ඇගයීමට ලක්වූයේ වසරේ ජාත්‍යන්තර විනිසුරු වරයායි. ශ්‍රී ලංකාවෙන් බිහිවූ ජාත්‍යන්තර විනිසුරු රුචිර පල්ලියගුරුගේ වසරේ ජාත්‍යන්තර විනිසුරු වරයා ලෙස සම්මාන ලැබීය.

අනතුරුව ඇගයීමට ලක්වූයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වාර්තා කල හොඳම මාධ්‍යවේදියාවයි. The Island පුවත්පතේ මාධ්‍යවේදී රෙක්ස් ක්ලෙමන්ටයින් මෙම සම්මානයෙන් පිදුම් ලැබීය. ජාත්‍යන්තර ක්‍රිකට් තරග විස්තර විචාරයන් තුලින් ශ්‍රී ලංකාවට සිදු කරන සේවය වෙනුවෙන් වසරේ හොඳම ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයා ලෙස සම්මාන දිනා ගත්තේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන රසල් ආර්නල්ඩ් ය.

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඇගයීම මෙහිදී සිදු කෙරුණත් එම සම්මාන  භාර ගැනීම සඳහා ඔවුන් කිසිවෙකුටත් පැමිණීමට නොහැකි විය. වසරේ එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබූ ශෂිකලා සිරිවර්ධන ආබාධයකින් පීඩා විඳිමින් සිටීම හේතුවෙන් ඇයට මෙම සම්මාන උළෙල මගහැරුණු අතර වසරේ හොඳම එක්දින පන්දු යවන්නිය ලෙස සම්මාන ලැබූ ඉනෝකා රණවීර සහ හොඳම එක්දින පිතිකාරිණිය ලෙස 5 වන වරටත් ඇගයීමට ලක්වූ චමරි අතපත්තු යන ක්‍රීඩිකාවන් දෙදෙනාම මේ වනවිට ආසියානු කුසලාන කාන්තා T-20 තරගාවලිය සඳහා තායිලන්ත සංචාරයකට එක්ව සිටියි.

2015 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා ඇගයීමේදී පන්දුවාර 20 සහ එක්දින තරග කාණ්ඩ දෙක සඳහාම වසරේ පන්දු යවන්නා ලෙස සම්මාන දිනාගත්තේ ලසිත් මාලිංගයි. සම්මාන ලබා ගැනීමෙන් පසු ඔහු පැවසුවේ ලබන වසරේ දී මෙම සම්මානය යොවුන් ක්‍රීඩකයෙකු සතු වනු දැකීම තම බලාපොරොත්තුව බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් වසරේ ටෙස්ට් මෙන්ම එක්දින පිටියේ ද හොඳම තුන් ඉරියවු ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලැබීය.

වසරේ ටෙස්ට් පන්දු යවන්නා ලෙස රංගන හේරත් සම්මාන ලබද්දී වසරේ ටෙස්ට් පිතිකරු සම්මානය හිමි වූයේ උප නායක දිනේෂ් චන්දිමාල් හටයි. වසරේ පන්දුවාර 20 පිතිකරු ලෙස ටී. එම්. ඩිල්ශාන් සම්මාන දිනාගත් අතර, වසරේ එක්දින පිතිකරු ලෙස සම්මාන දිනාගත් කුමාර් සංගක්කාර තම සම්මානය ලබා ගැනීමට පැමිණ සිටියේ නැත.

ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙලේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙසින් ඇරයුම් ලබා සිටි වසීම් අක්‍රම් අතින් වසරේ නැගී එන ක්‍රිකට් තරුව සඳහා සම්මානය පිරිනැමුණු අතර එහි සාඩම්බර හිමිකරුවා බවට පත්වූයේ කුසල් මෙන්ඩිස් ය.

උත්සව සභාව ඇමතූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාවේ සිදුවූ බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ඕස්ට්‍රේලියා සහ කොදෙව් කණ්ඩායම් මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ ඉන්දීය සහ පාකිස්තානු ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස මෙරටට පැමිණ ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට සුදුසු ස්ථානයක් බව ලොවට කියා පෑම සඳහා වසීම් අක්‍රම් ඇතුළු ආසියානු කලාපයේ ක්‍රීඩකයන් සහ පරිපාලකයන් සිදුකළ සේවය ඇගයීමටද අමතක කළේ නැත.

ක්‍රීඩා ලෝලී ජනතාවගේ මනාපය අනුව තෝරා ගැනුණු ඩයලොග් ජනතාවගේ ක්‍රීඩක නොහොත් වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා සම්මානය හිමිවූයේ ටී. එම්. ඩිල්ශාන් හටයි. මේ සඳහා කෙටි පණිවුඩ, සමාජ ජාල වෙබ් අඩවි මෙන්ම ඩයලොග් වෙබ් අඩවිය හරහාද ක්‍රීඩා ලෝලීන් විසින් පල කල මනාප 493,126 ක් අතුරින් වැඩිම මනාප දිනා ගැනීමට මේ වසරේදී තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට නැවතීමේ තිත තැබූ මේ විශිෂ්ට තුන් ඉරියවු ක්‍රීඩකයා සමත්ව තිබුණි.

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සිය 3 වන සම්මානය ලබා ගැනීමත් සමඟ ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල මේ වසර සඳහා තිරය වසා දැමුවේ මේ වෙසෙස් ඇගයුම් උළෙලෙන් සවිමත්ව එළඹෙන වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අඹර බබලවන තවත් ක්‍රීඩකයන් රැසක් බිහිවේවා යන ප්‍රාර්ථනය ද මෙරට සුවහසක් ක්‍රීඩා ලෝලීන් වෙත තිලිණ කරමිනුයි.

  1. වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු – රුචිර පල්ලියගුරුගේ
  2. වසරේ ක්‍රිකට් මාධ්‍යවේදී – රෙක්ස් ක්ලෙමන්ටයින්
  3. වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක – රසල් ආර්නල්ඩ්

කාන්තා ක්‍රිකට්

  1. වසරේ කාන්තා එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාව – ශෂිකලා සිරිවර්ධන
  2. වසරේ කාන්තා එක්දින පන්දු යවන්නිය – ඉනෝකා රණවීර
  3. වසරේ කාන්තා එක්දින පිතිකාරිනිය – චමරි අතපත්තු

පන්දුවාර 20 ක්‍රිකට්

  1. වසරේ පන්දුවාර 20 පිතිකරු – ටී. එම්. ඩිල්ශාන්
  2. වසරේ පන්දුවාර 20 පන්දු යවන්නා – ලසිත් මාලිංග

එක්දින ක්‍රිකට්

  1. වසරේ එක්දින ජාත්‍යන්තර පිතිකරු – කුමාර් සංගක්කාර
  2. වසරේ එක්දින ජාත්‍යන්තර පන්දු යවන්නා – ලසිත් මාලිංග
  3. වසරේ එක්දින ජාත්‍යන්තර තුන් ඉරියව් ක්‍රීඩක – ඇන්ජලෝ මැතිව්ස්

ටෙස්ට් ක්‍රිකට්

  1. වසරේ ටෙස්ට් පිතිකරු – දිනේෂ් චන්දිමාල්
  2. වසරේ ටෙස්ට් පන්දු යවන්නා – රංගන හේරත්
  3. වසරේ ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩක – ඇන්ජලෝ මැතිව්ස්

විශේෂ සම්මාන

  1. වසරේ නැගී එන ක්‍රීඩක – කුසල් මෙන්ඩිස්
  2. ඩයලොග් ජනතාවගේ ක්‍රීඩකයා – ටී. එම්. ඩිල්ශාන්
  3. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා – ඇන්ජලෝ මැතිව්ස්

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට