රත්නම් පරදා කොළඹ පාපන්දු සමාජයට දැවැන්ත ජයක්

407

2018/19 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලිය යටතේ කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය සහ රත්නම් SC කණ්ඩායම අතර අද (22) කොළඹ නගර පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ගෝල 4-0ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරන්නට කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය සමත් විය. එහි දී ජීන් මෝමාස් ගෝල ත්‍රිත්වයක් වාර්තා කරගැනීම කැපී පෙනෙන්නට විය.

සාන්ත පැට්‍රික් ක්‍රීඩකයෝ දඩුවම් පහරවලින් මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෝ පරදති

‘ThePapare’ වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය සමස්ත ලංකා පාපන්දු ශූරතාවලියේ 3 වන ස්ථානය තේරීම සඳහා තරගය අද (16) පස්වරුවේ කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ දී මීගමුව…

අනෙක් පසින් රත්නම් ක්‍රීඩකයින් තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරමින් කොළඹ පාපන්දු ක්‍රීඩකයින්ගේ ආක්‍රමණය මැඩලන්නට උත්සාහ දැරූ අතර එහි දී ඔවුන්ගේ ආරක්‍ෂක ක්‍රීඩකයින් අතින් යම් යම් අත්වැරදීම් සිදුවුවත් ප්‍රතිවාදීන්ට ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවක් ලබා නොදෙන්නට ඔවුන් වගබලා ගත්තේය. කෙසේ නමුත් තරගය ඉදිරියට යත්ම රත්නම් ක්‍රීඩකයින් ද පන්දුව සිය ග්‍රහණයේ රඳවා ගනිමින්  තරමක් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරන්නට විය. නමුත් ඔවුන් ද එහි දී ගෝලයක් වාර්තා කරගැනීමට පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරගන්නට සමත් වූයේ නැත.

පළමු අර්ධයේ මැද භාගයට පමණ වන්නට කොළඹ පාපන්දු ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරගැනීමට සමත් වුවත් ඒවා ගෝල බවට පරිවර්තනය කරගන්නට ඔවුන් සමත් වූයේ නැත. එහි දී රත්නම් ආරක්‍ෂක ක්‍රීඩකයින් ද කෙමෙන් තරගයට අවතීර්ණ වෙමින් ප්‍රතිවාදී ක්‍රීඩකයින් නිර්මාණය කර ගත් අවස්ථා ව්‍යර්ථ කර දමන්නට සමත් විය.

අනතුරුව ඉක්මන් අවස්ථාවක් හරහා පන්දුව ලබාගත් රත්නම් ක්‍රීඩක දිල්හාර ජයසේකර පිටියේ දකුණු අන්තයෙන් පන්දුව ගෝල රාමු කලාපය තුළට රැගෙන යමින් වේගවත් පහරක් එල්ල කරනු ලැබුවත් එහි දී ක්‍රියාත්මක වූ කොළඹ ගෝල රකින ක්‍රීඩක කවීෂ් ලක්ප්‍රිය එය ඉතා විශිෂ්ට අන්දමින් රැකගන්නට සමත් විය.

එතැන් පටන් තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම තමන් සතුකරගත් කොළඹ පාපන්දු ක්‍රීඩකයින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් වෙත අනුවර්තනය වන්නට විය. ඒ අනුව මොහොමඩ් ෆාසාල් පිටියේ වම් අන්තයේ සිට ඉතා විශිෂ්ට ලෙස ප්‍රතිවාදී ක්‍රීඩකයින් දෙදෙනෙක් පසුකරමින් පන්දුව ගෝල රාමු කලාපය තුළට රැගෙන යමින් පහරක් එල්ල කරනු ලැබුවත් එහි දී ඔහු එල්ල කළ පහර ගෝල රාමුවේ වැදී ඉවතට ඇදී ගියේය.

ඉන් අනතුරුව කෝනර් අවස්ථාවක් හරහා ගෝල රාමුව තුළට යොමු වූ පන්දුව ඉන් ඉවතට යොමුකරන්නට රත්නම් ක්‍රීඩකයින් අසමත් වූ අතර එහි දී පන්දුව ලබාගත් ජීන් මෝමාස් ගෝල රාමුව දෙසට වේගවත් පහරක් එල්ල කරනු ලැබුවත් එම අවස්ථාවේ දී පන්දුව ගෝල රාමුවේ ඉහත දාරයේ වැදී ඉවතට ඇදී යන්නට විය.

කෙසේ නමුත් නැවත වරක් ඉක්මන් අවස්ථාවක් හරහා ක්‍රියාත්මක වූ රත්නම් ක්‍රීඩකයින් පන්දුව දිල්හාර වෙත බාර කළ අතර ඔහු පිටියේ දකුණු අන්තයේ සිට පන්දුව රැගෙන යමින් එය ගෝල රාමුව තුළට යොමු කරනු ලැබුවත් එහි දී මොහොමඩ් අමාන් පන්දුවට හිසින් එල්ල කළ පහර ගෝල රාමුවට ඉහතින් ඇදී යාම නිසා ගෝලයක් රැස්කර ගැනීමට ලැබුණු ඉතා පහසු අවස්ථාවක් ඔවුන් අතින් ගිලිහී ගියේය.

තරගයේ පළමු අර්ධය අවසන් වන්නට ඉතා සුළු වේලාවක් ඉතිරිව තිබිය දී ක්‍රියාත්මක වූ මෝමාස් තරගයේ පළමු ගෝලය වාර්තා කරගන්නට සමත් විය. එහි දී කොළඹ පාපන්දු ක්‍රීඩකයින් හට නිදහස් පහර අවස්ථාවක් හිමි වූ අතර එය ලබාගත් බොඩ්රික්ස් දිමිත්‍රි ගෝල රාමුව තුළට යොමු කළ පන්දුවට මෝමාස් විසින් හිසින් පහරක් එල්ල කරමින් එම ගෝලය වාර්තා විය.

පළමු අර්ධය: කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය 01 – 00 රත්නම් ක්‍රීඩා සමාජය

කණ්ඩායම් දෙකම තරගයේ දෙවන අර්ධයට අවතීර්ණ වූයේ දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් සමඟයි. එහි දී කොළඹ පාපන්දු ක්‍රීඩකයින් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය වැඩිකර ගන්නට උත්සාහ දරද්දී රත්නම් ක්‍රීඩකයින් ගෝලයක් රැස්කර ගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු තත්වය සමකර ගැනීමට උත්සාහ දැරීය. කෙසේ නමුත් තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ දී දෙපිළේම ක්‍රීඩකයින් ගෝලයක් රැස්කර ගැනීමට අවස්ථාවන් නිර්මාණය කරගැනීමට අපොහොසත් වීම හේතුවෙන් තරගය තරමක් උදාසීන ස්වරූපයක් ගන්නට විය.

කෙසේ නමුත් ගෝලයක් හඹා යාමේ උත්සාහය පළමුව සාර්ථක කර ගත් කොළඹ පාපන්දු ක්‍රීඩක සර්වාන් කණ්ඩායමට තරගයේ දෙවන ගෝලය හිමිකර දෙන්නට සමත් විය. එහි දී ගෝල රාමුවේ වම් කොණේ දී පන්දුව ලබාගත් සර්වාන් එයට වේගවත් පහරක් එල්ල කරමින් පන්දුව සාර්ථකව ගෝල රාමුව තුළට යොමුකරන්නට සමත් විය.

මිනිත්තු කිහිපයකට පසුව රත්නම් නායක සච්මිත මදුරංග විසින් මෝමාස් හමුවේ සිදුකරන ලද බරපතළ ‘tackle’ කිරීමක් හේතුවෙන් ඔහුට සෘජු රතු කාඩ්පතක් නිකුත් කරන්නට විනිසුරුවරයා තීරණය කළ අතර ඒත් සමඟම රත්නම් කණ්ඩායමට තරගය පිළිබඳ තිබූ බලාපොරොත්තු ගිලිහී යන්නට විය.

කෙසේ නමුත් ගෝලයක් වාර්තා කර ගැනීමේ අපේක්‍ෂාවෙන් ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් පමණක් වුවද ඔවුන් තවදුරටත් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ පාපන්දු ආරක්‍ෂක ක්‍රීඩකයින් අතින් සිදු වූ අත්වැරදීමක් හරහා රත්නම් ක්‍රීඩක මොහොමඩ් සෆීර් හට ගෝල රාමුව ඉදිරිපිට දී පන්දුව ලැබුනත් එහි දී ඔහු එල්ල කළ පහර ගෝල රාමුවෙන් ඉවතට ඇදී ගියේ ගෝලයක් රැස්කර ගැනීමට ඔවුන්ට ලැබුණු තවත් පහසු අවස්ථාවක් අපතේ යමිනි.

ඉන් අනතුරුව තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ දී තවත් ගෝල 2ක් වාර්තා කර ගත් මෝමාස් සිය ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කරන්නට සමත් විය. එහි දී ගෝල රාමුව ඉතා ආසන්නයේ දී ඔහුට ලැබුණු පන්දුවකට පහරක් එල්ල කරමින් පහසුවෙන් පළමු ගෝලය වාර්තා කර ගත් ඔහු එහි දී දෙවැනි ගෝලය වාර්තා කර ගනු ලැබුවේ ඔවුන්ට ලැබුණු දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කරගනිමිනි.

ඒ අනුව තරගය පුරාවට විශිෂ්ට ක්‍රීඩා විලාශයක් දියත් කළ කොළඹ පාපන්දු ක්‍රීඩකයින් මෙහි දී රත්නම් ක්‍රීඩකයින් පරාජය කරමින් ගෝල 4-0ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරගන්නට සමත් විය.

සම්පූර්ණ කාලය: කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය 04 – 00 රත්නම් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – ජීන් මෝමාස් (කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය)

ගෝල ලාභීන්

  • කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය – ජීන් මෝමාස් 45+3’, 84’, 90’, සර්වාන් ජොහාර් 64’

රතු කාඩ්පත්

  • රත්නම් SC – සච්මිත මදුරංග 75’

කහ කාඩ්පත්

  • කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය- බී. එම්. සී. බී. රත්නායක 19’, මොහොමඩ් රිෆ්නාස් 31’
  • රත්නම් SC – අන්වර් මොහොමඩ් අකීල් 52’  

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<