Dammika Prasad

පන්දු යවමින් සිටියදී උරහිසෙහි ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද්ට හෙඩින්ලි හිදී පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇතැයි වාර්තා වේ.

මීට සතියකට පමණ පෙර එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම සමඟ පැවැති පළමු තෙදින පුහුණු තරගයේදී එසේ උරහිසේ ආබාධයකට ලක්වූ ප්‍රසාද් පසුව ස්කෑන් පරීක්ෂාවකට යොමු කළ අතර එහිදී මාධ්‍ය වෙත හෙළි වූ මූලික කරුණ වූයේ ඔහුට දෙවැනි පුහුණු තරගය අහිමි වන බවයි.

කෙසේ වෙතත් දෙවැනි පුහුණු තරගය අවසන් වීමත් සමඟින් මාධ්‍ය වෙත කරුණු දක්වා ඇති ශ්‍රී ලංකා පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා පවසන්නේ ධම්මික ප්‍රසාද්ගේ උරහිසෙහි හටගත් ආබාධ තත්ත්වය හිතුවාට වඩා තරමක් බරපතළ බවත් ඔහුට දෙරට අතර පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට නොහැකි තත්ත්වයක පසුවන බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆෝඩ් ” ධම්මික පළමු තරගයේදී ක්‍රීඩා කරන්නෙ නෑ. මොකද ඔහුගේ ආබාධය තවමත් සියයට සියයක් සුව වී නෑ. ඔහුට අවශ්‍ය සියලුම වෛද්‍ය ප්‍රතිකාර මේ වනවිට සිදුවෙමින් පවතිනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනව ඔහු දෙවැනි සහ තෙවැනි ටෙස්ට් තරගවලදී කණ්ඩායමට එකතු වෙයි කියල. එහෙම ක්‍රීඩා කරන්න පුළුවන් තත්ත්වයක් ආවොත් ඔහුට වැඩි කාලයක් දැල තුළ පුහුණුවීම් කරන්න සිදුවේවි” යනුවෙන්ද පැවැසීය.

තවද පෙරේදා නිමාවූ දෙවැනි පුහුණු තරගයේ පළමු ඉනිමේදී දසුන් ශානක (112) සහ කුසල් මෙන්ඩිස් (65) ලබා ගත් අතර දෙවැනි ඉනිමේදී ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 100ක සබඳතාවක් ගොඩ නැඟීමට සමත්විය. එසේම ආබාධයක් හේතුවෙන් මාස කිහිපයක් කණ්ඩායමෙන් ඉවත්ව සිට පසුගියදා නිමාවූ දෙවන පුහුණු තරගයේදී කණ්ඩායමට එක්වූ ලහිරු තිරිමාන්නද නොදැවී ලකුණු 40ක් ලබා ගැනීමට සමත්වූ අතර එම පිතිකරුවන් දක්ෂතා අතරට පැමිණීම පිළිබඳව උදේ‍යාගයෙන් අදහස් පළ කළ ෆෝඩ් වැඩිදුරටත් කියා සිටියේ පිතිකරුවන් දක්ෂතා අතරට පැමිණීමත් සමඟින් තරගාවලිය පිළිබඳ තබා තිබූ බලාපොරොත්තු ඉහළ නැංවුණු බවයි.

තවත් පුවත් සිංහලෙන් පිවිසෙන්න