ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළිය, “209 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය” ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණි. මෙවර තරගාවලියෙන් අනතුරුව ජාත්යන්තර එක්දින පිටියෙන් සමුගැනීමට නියමිත සුපිරි තරු කිහිපයක් පිළිබඳ තැබූ කෙටි සටහනක් වෙතට අපි දැන් යොමු වෙමු.
දේශය නඟා සිටුවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් එක්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාස්කු දින ප්‍රහාරයෙන් ……….
ක්‍රිස් ගේල්

වත්මන් එක්දින ජාත්යන්තර ශ්‍රේණිගත කිරීම් හි පෙරමුණෙහි රැඳෙන ප්‍රබල එංගලන්ත කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලිය වෙනුවෙන් නැවත කැඳවීමක් ලද ගේල් එහි දී තමන් ක්‍රීඩා කළ තරග 4 තුල දී අර්ධ ශතක 2ක් සහ ශතක 2කින් එංගලන්ත පන්දු යවන්නන් හට සංග්‍රහ කළේ වයස යනු හුදු ඉලක්කම් කිහිපයක් පමණක් බව ලෝකයා ඉදිරියේ සනාථ කරමිනි.
කෙසේ නමුත් තරග පහකින් සමන්විත වූ තරගාවලියේ පළමු තරගය අවසානයේ දී පැවති මාධ්‍ය හමුවේ දී එක්වෙමින් ගේල් සඳහන් කර සිටියේ නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව එක්දින තරග ආකෘතියට සමුදීමට ඔහු තීරණය කර ඇති බවය. ඒ අනුව නිමාව දුටු තරග කිහිපයේ දී නැවතත් ඔහු තම සුපුරුදු ප්‍රවේගකාරී තරග රටාවට අනුගත වී ඇති බව ලබා දුන් ඉඟියත් සමඟම බටහිර ඉන්දීය කොදෙව්වන්ට 1979 වර්ෂයෙන් පසුව නැවත වතාවක් ලෝක කුසලානයකට උරුමකම් කීමේ අවස්ථාවක් ලැබේවී යනුවෙන් කොදෙව් ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තු දල්වා ගෙන සිටි.
ජෝන් පෝල් ඩුමිනි
පිත්තෙන් පන්දුවෙන් පමණක් නොව පන්දු රැකීමෙන් ද තම දක්ෂතා ප්‍රදර්ශනය කරමින් දකුණු අප්‍රිකානු සීමිත පන්දුවාර කණ්ඩායමට වසර ගණනාවක් මුළුල්ලේ සිය දායකත්වය මැනවින් ලබා දුන් ඩුමිනි, මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ජාත්යන්තර එක්දින තරග පිටියෙන් සමුගන්නා බව පසුගිය දිනක මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
නිතරම ආබාධවලට ගොදුරු වීම නිසා දකුණු අප්‍රිකානු වර්ණයන්ගෙන් සැරසී ක්‍රීඩා කිරීමට තිබූ මහඟු අවස්ථා කිහිපයක්ම ඔහුට මඟහැරුණු නිසාවෙන්ම එම තීරණය ගැනීමට තමන් පෙලඹුණ බව ඔහු සඳහන් කළ අතර ඊට පසුදින තමාට හුරුපුරුදු කේප්ටවුන් ක්‍රීඩා පිටියේ දී මව්බිම තුල ක්‍රීඩා කරන අවසන් එක්දින තරගයට සහභාගී වීමට ලැබීම ඩුමිනිට ඉතා හැඟුම්බර අවස්ථාවක් විය.
ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹ දී මංගල එක්දින තරග ක්‍රීඩා කළ ඩුමිනි, දකුණු අප්‍රිකාව වෙනුවෙන් එම තරග රටාවේ වැඩිම ලකුණුලාභීන් දස දෙනා අතරට ඔහුගේ නාමය ද ඇතුළත් කර ගැනීමට සමත් වී තිබෙන්නේ ලකුණු 5047කින් සිය ගිණුම තර කරගනිමිනි. තවද ඔහු තරග 200කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කර තිබෙන හත්වැනි දකුණු අප්‍රිකානු ජාතිකයා ලෙස වාර්තා පොත් අතරට එක්වී ඇත.
ඉම්රාන් තාහීර්
මොහුගේ නම ඇසූ සැණින් ඔබගේ මතකයට එන්නේ කඩුල්ලක් දවා ගත් විගස ක්‍රීඩාගාරය ආසන්නයටම හීසරයක් මෙන් දිවගොස් රඟ දක්වන අපූර්ව සැමරුම් නිසා බව අමුතුවෙන් කිව යුතු නැත. නිතරම කඩුලු පිපාසාවෙන් යුතුව තරග බිමට පිවිසෙන තාහීර් ලොව පුරා සිටින දක්ෂ පිතිකරුවන් හට පවා හිසරදයක් වී ඇති තර්ජනාත්මක පා දඟපන්දු යවන්නෙකි.
කෙසේ නමුත් මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එක්දින තරගයන්ට ආයුබෝවන් කීමට අපේක්ෂාවෙන් පසුවන තාහීර් ඉදිරියේ දී විස්සයි විස්ස තරග පමණක් ක්‍රීඩා කරමින් තම සේවය ජාතික කණ්ඩායම වෙත අඛණ්ඩව ලබා දෙනු ඇත. මෑත කාලයේ දකුණු අප්‍රිකාවෙන් බිහි වූ සාර්ථකම සීමිත පන්දුවාර පන්දු යවන්නා ලෙසින් නම් දරා සිටින තාහීර් කඩුලු 162ක් දවා ගනිමින් ලෝකය ඉදිරියේ සිය ක්‍රීඩා කෞශල්‍යය මැනවින් විදහා දැක්වීමට සමත් වී තිබේ.
ෂොයිබ් මලික්
ඉතා ඉවසිලිමත්ව තම ඉනිම ගොඩනගමින් අවශ්‍ය මොහොතේ දී ගිනිකෙළි සංදර්ශන පැවැත්වීමේ හැකියාවක් සහිත දක්ෂ පිතිකරුවෙකු මෙන්ම තම දකුණත් පිට දඟපන්දු යැවීමෙන් සබඳතා බිඳින්නෙකු ලෙසත් ප්‍රසිද්ධියක් උසුලන හිටපු පාකිස්තාන නායකයෙකු වන ෂොයිබ් මලික් පාකිස්තාන විසින් බිහි කළ ඇති විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරින් අයෙකු බව අවිවාදයෙන් පිළිගත යුතු කාරණයකි.
එක්දින ජාත්‍යන්තර තරග 282කට ක්‍රීඩා කර ඇති මලික් එහි දී අංශ ත්‍රිත්වයෙන්ම වැඩපෙන්වා ඇත්තේ පිත්තෙන් ලකුණු 7481ක්, පන්දුවෙන් කඩුලු 156ක් මෙන්ම උඩපන්දු 96ක් ද සමඟින් තරග දිනවන්නෙකු ලෙස සිය සේවය නිරතුරු පාකිස්තාන කණ්ඩායම වෙත ලබා දෙමිනි. පසුගිය වසරේ ජුනි මාසයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගාවලිය අතරතුර දී තමන් ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව එක්දින තරග ආකෘතියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව මාධ්‍ය වෙත දන්වා සිටියේය.
ඉතාමත් තරුණ අත්දැකීම් මැද ආධුනික පාකිස්තාන කණ්ඩායමක් මෙහෙයවමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව හොඳ තරගයක් ලබා දීමට මලික් ඇතුළු කණ්ඩායම සමත් වූ නමුත් ඔවුන්ගේ එම වෑයම ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් නවතාලීමට තරම් ප්‍රමාණවත් නොවූයෙන් 5-0ක් ලෙස අමිහිරි තරගාවලි පරාජයක් අත්විඳීමට ඔවුන්ට සිදු විය. එසේ වූවද මලික් සතු අත්දැකීම් සම්භාරය සෆ්රාස් අහමඩ් ප්‍රමුඛ පාකිස්තානුවන් හට ලෝක කුසලානය නැවත වතාවත් තම මව්රට බලා රැගෙන යාමට මහෝපකාරී වනු ඇත.
ඩේල් ස්ටේන්

ස්ටේන්ගේ ක්‍රීඩා ජීවිතය ආරම්භයේ දී ඔහුව නවතාලීමට කිසිවෙකුටත් හැකියාවක් නොලැබුණු නමුත් පසුගිය වසර දෙකක කාලසීමාව තුල දී නිතරම ආබාධයන්ට ගොදුරු වීම නිසාවෙන් අවාසනාවන්ත ලෙස ජාත්යන්තර තරග බිමෙන් ඉවත්ව සිටීමට ඔහුට සිදු විය.
ටෙස්ට් තරගවලට සාපේක්ෂව එක්දින තරග රටාවේ දී ස්ටේන් දක්වා ඇති කුසලතාවන් හි තරමක වෙනසක් දැක ගැනීමට හැකි නමුත් ඕනෑම පිතිකරුවෙකු ඕනෑම මොහොතක දී තමා සතු වේගපන්දුවෙන් මුලා කිරීමේ සහජ හැකියාවක් ඔහු සතු වීම ලෝක කුසලානයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමට අතිශය තීරණාත්මක සාධකයක් වනු ඇත.
පසුගිය ජුනි මාසයේ දී තමා ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව එක්දින පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර සිටි ස්ටේන් 2015 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී නවසීලන්ත කණ්ඩායම අතින් ලද නොසිතූ පරාජයේ වේදනාව සඟවා ගනිමින් මෙවර දකුණු අප්‍රිකාවට කුළුඳුල් ලෝක කුසලාන කිරුළ දිනා දීමේ අරමුණින් පන්දුව අතට ගනු ඇත.
ICC ඇසුරෙනි.
>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















