ස්මට්ස් මට්ටු කළ ලයන්ස් පිළ ශූරතාවය රැගෙන යයි!

125
Gordon Arons/Gallo Images

පුරා මසක් තිස්සේ කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පැවති CSA T20 Challenge තරගාවලිය ඊයේ (06) නිමාවට පත්වූයේ නාට්‍යමය ජවනිකා රැසක් මැදයි. එහි දී දැවැන්ත සටනකින් පසු වෝරියර්ස් නායක ජේ. ජේ. ස්මට්ස්ගේ සුපිරි ප්‍රහාරය නතර කළ ලයන්ස් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ ප්‍රමුඛතම T20 ලීග් තරගාවලියක් වන CSA T20 තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු දැරූහ. මෙම අවසන් තරගයේ දී විස්සයි විස්ස ශතක දෙකක්ම වාර්තා වීම ද ඉතාමත් සුවිශේෂී සිදුවීමක් බවට පත්විය.

කොදෙව්වෝ වාර්තා පොත් අලුත් කරති!

අයර්ලන්තයට එරෙහිව ලකුණු 196ක දැවැන්ත ………

ඊයේ සන්ධ්‍යා කාලයේ මෙම තරගය ආරම්භ වූයේ ලෝකයේ හොඳම පිතිකරණ පාරාදීසයක් ලෙසින් සැලකෙන ජොහැන්ස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි. අවසන් පූර්ව තරගවල දී ඩොල්ෆින්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් ලයන්ස් පිළත්, කේප් කෝබ්‍රාස් කණ්ඩායම පරාජය කරමින් වෝරියර්ස් පිළත් මෙම අවසන් තරගයේ අසුන් වෙන් කරගෙන සිටියහ. කෙසේ වෙතත් ගියවර ශූරයින් බවට පත්වූ ටයිටන්ස් කණ්ඩායම මෙවර අවසන් පූර්ව වටයටවත් සුදුසුකම් ලැබීමට සමත් නොවීම ද විශේෂත්වයකි.

ඊයේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් වෝරියර්ස් නායක ජේ. ජේ. ස්මට්ස් තීරණය කළේ මුලින් පන්දු යැවීමටයි. කෙසේ වෙතත් ඉතා හොඳින් ලකුණු ඇති තණතිල්ලක ප්‍රතිවාදීන්ට පිතිකරණයේ අවස්ථාව ලබා දෙමින් විශාල ලකුණු පුවරුවක පීඩනය හිස මත පටවා ගැනීමට ඔවුන් කටයුතු කළේ ඇයි ද යන්න ගැටලුවකි.

ලද අවසරයෙන් උපරිම ප්‍රයෝජන ගත් ලයන්ස් පිළ තම පන්දුවාර 20 තුල ලකුණු 203ක් රැස්කර ගත්හ. ඔවුන්ගේ ප්‍රධානම බලාපොරොත්තුවක් වූ ආරම්භක පිතිකරු රීසා හෙන්රික්ස් පළමු පන්දුවෙන්ම දැවී ගිය ද මැදපෙළ අතිශයින්ම සාර්ථක වූ නිසා ඔවුන්ට ලකුණු පුවරුව ප්‍රසාරණය කර ගැනීම අපහසු නොවීය.

ටෙස්ට් පිතිකරුවෙකු ලෙස ලොව නමක් දිනා සිටිය ද ඊයේ විශිෂ්ට විස්සයි විස්ස ඉනිමක් ක්‍රියාත්මක කළ ටෙම්බා බවුමා මෙම ඉනිමේ නැංගුරම බවට පත්විය. ඔහු පන්දු 63ක් තුල දී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 104කි. ඊට හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

>>  මෝර්ගන් පාකිස්තානය සසල කරවයි  <<

බවුමා සමඟ ශක්තිමත් සබඳතාවයකට මුල පිරූ වැන්ඩර් ඩුසේන් ලකුණු 73ක් ලබා ගත්තේ පන්දු 41කදීයි. මේ දිනවල ලකුණු අතර සිටින ඔහු ඊයේ හතරේ පහර 3ක් සහ පිටිය සිසාරා හයේ පහර 5ක් එල්ල කළේය. ඉනිමේ අවසන් පන්දුවාරයේ දී ඔවුන් දෙදෙනා දැවී ගිය ද ඒ වන විට වොරියර්ස් පිළට සිදු විය යුතු හානිය ඔවුන් දෙදෙනා විසින් සිදු කර තිබුණි.

මෙම දැවැන්ත ලකුණු ප්‍රහාරය හඹාගොස් කුසලානය දිනා ගැනීමේ අදිටනින් පිටියට පිවිසි වෝරියර්ස් පිළේ ආරම්භය කිසිසේත්ම සාර්ථක වූයේ නැත. ලකුණු පුවරුව 11ක් වෙද්දී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම සිටියේ ක්‍රීඩාගාරයේයි.

මැදපෙළ පිතිකරුවන් සුළු ලකුණු සංඛ්‍යා රැස් කළ ද එය මෙවන් දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට ප්‍රමාණවත් වූයේ නැත. ඒ අනුව ඔවුන්ගේ මුල් කඩුලු 5ම ලකුණු 56ක් තුල බිඳ වැටී අතිශයින්ම අසරණ විය. මේ මොහොතේ නායකත්වයේ වගකීම කරට ගත් ජේ. ජේ. ස්මට්ස් තනිවම ප්‍රහාරයක් දියත් කළේ ජයග්‍රහණය ඉව වැටී සිටි ලයන්ස් ක්‍රීඩකයින්ගේ නළලත රැළි ගන්වමිනි.

පන්දු 60කට පමණක් මුහුණ දෙමින් ලකුණු 121ක් රැස්කළ ඔහු දෙපිළේම ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කිරීමට සමත් විය. ස්මට්ස්ගේ මෙම විශිෂ්ට ප්‍රහාරය අලංකාර හතරේ පහර 11කින් සහ හයේ පහර 7කින් හැඩ විය. කෙසේ වෙතත් ඔහුගේ උත්සාහයට සහෝදර පිතිකරුවන් කිසිම සහයෝගයක් ලබා නොදීම අවසන් මොහොතේ වෝරියර්ස් පිළේ කුසලාන බලාපොරොත්තුව බොඳකර දැමීමට හේතු විය. වෝරියර්ස් පිළ වෙනුවෙන් තම උපරිමය ලබා දුන් ජේ. ජේ. ස්මට්ස් අවසන් කඩුල්ල ලෙස දැවී ගියේ අවසන් පන්දුවාරයේ දෙවැනි පන්දුවටයි.

අයර්ලන්ත නායකයා එංගලන්ත කඩුලු රකින්නා ගැන නොසතුටින්

අයර්ලන්ත නායක විලියම් පොටර්ෆිල්ඩ් එංගලන්තයේ …………

ඒ අනුව ලයන්ස් පිළ අවසන් මහා තරගයෙන් ලකුණු 11ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය. තරගයේ වීරයා ලෙස තරග දිනවන ශතකයේ හිමිකරු වූ ටෙම්බා බවුමා කුසලාන දිනා ගත්තේය. කෙසේ වෙතත් ඊයේ වොන්ඩරස් පිටියට රැස්වූ ප්‍රේක්ෂකයින්ට කනගාටු වන්නට හේතුවක් තිබෙන්නට ඇතැයි සිතිය නොහැකිය. ඒ ඔවුන් උණුසුම් තරගයක් සහ ලකුණු 400කට ආසන්න ලකුණු සංඛ්‍යාවක් රැස්වන අයුරු දැක බලාගත් බැවිනි.

ලයන්ස් පිළ – කඩුලු 4ක් දැවී ලකුණු 203 (පන්දුවාර 20): ටෙම්බා බවුමා 104, වැන්ඩර් ඩුසේන් 73, රයන් රිකල්ටන් 19, ඇන්ඩෘ බර්ච් 3/36.

වෝරියර්ස් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 192 (පන්දුවාර 19.2): ජේ.ජේ. ස්මට්ස් 121, ඔන්කේ යකූ 27, ලෙසිබා ගෝපේ 13, ජෝන් ෆෝටූන් 4/27, මිගායෙල් ප්‍රිටෝරියස් 3/35, ලිසාඩ් විලියම්ස් 2/49.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<