2017 Dialog ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන සතියේ තරගයක් ලෙස පොලිස් පාක් ක්‍රීඩාංගණයේ දී පැවති ජාවා ලේන් ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය ගෝල 3-0ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරගන්නට ජාවා ලේන් ක්‍රීඩා සමාජය සමත් විය.

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලිය මෙවරත්

පාපන්දු ක්‍රීඩාලෝලීන් නොඉවසිල්ලෙන් බලා සිටි 2017 ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලිය, සැප්තැම්බර් මස 2 වැනිදා ආරම්භ..

ජාවා ලේන් කණ්ඩායම මෙන්ම පොලිස් කණ්ඩායම ද තරගාවලියේ ආරම්භක සතියේ දී පැවති තරග පිළිවෙළින් ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය සහ පෙලිකන්ස් ක්‍රීඩා සමාජය හමුවේ පරාජයට පත්විය.

තරගයේ ආරම්භයේ පටන් ප්‍රතිවාදී කලාපය වෙත පන්දුව රැගෙන යමින්, පන්දුව වැඩි වේලාවක් තමන් සතුව රඳවා ගන්නට පොලිස් ක්‍රීඩා සමාජය සමත් වුවත්, ගෝල රාමුව ආසන්න කලාපය තුළ ඔවුන් පෙන්නුම් කළ ක්‍රීඩා විලාශය හේතුවෙන් ගෝලයක් රැස්කර ගන්නට ඔවුන් අපොහොසත් විය. කෙසේ නමුත් මෙහි දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු නායකයෙකු වන චතුර ගුණරත්නගේ දක්‍ෂතා පොලිස් කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනුණි. අනෙක් පසින් ජාවා ලේන් කණ්ඩායම තරගය පුරාවට ඉක්මන් අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට සමත් වූ අතර එහි දී නවීන් ජූඩ්ගේ සහ රිස්කාන් ෆයිසර්ගේ දක්‍ෂතා ඉහළ මට්ටමක පැවතුණි.

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සහ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ හිටපු ගෝල රකින ක්‍රීඩකයෙකු වන පොලිස් කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක මහේන්ද්‍රන් දිනේෂ්ගේ නොසැලකිලිමත්කම නිසා සිදු වූ වරදකින් ප්‍රයෝජන ගනිමින් තරගයේ පළමු ගෝලය වාර්තා කර ගන්නට ජාවා ලේන් ක්‍රීඩකයින් සමත් විය. එහි දී දිනේෂ් විසින් යොමු කළ පන්දුව ගෝල රාමුවේ යාර 6 කලාපය තුළ සිටි එමානුවෙල් යුචේනා අසලට යොමු වූ අතර යුචේනා පන්දුව ගෝල රාමුව වෙත යොමු කරමින් ගෝලයක් රැස්කර ගැනීමට සමත් විය.

මිනිත්තු කිහිපයකින් අනතුරුව යුචේනා තවත් ගෝලයක් රැස්කර ගැනීමට ආසන්නයට පැමිණි අතර එහි දී ඔහු නිදහස් පහරකින් එල්ල කළ පන්දුව ගෝල රාමුවෙන් ඉවතට යොමු කරමින් ගෝලයක් රැස්කර ගැනීමේ අවස්ථාව වළකාලන්නට දිනේෂ් මෙවර සමත් විය.

Highlights – Renown SC v Saunders SC – DCL17 (Week 1)

Uploaded by ThePapare.com on 2017-09-08.

අනෙක් පසින් පොලිස් ක්‍රීඩා සමාජයේ ගුණරත්න දුර සිට ගෝල රාමුව වෙත පහරවල් කිහිපයක් එල්ල කරමින් ගෝලයක් රැස්කර ගැනීමට උත්සාහ දරමින් ජාවා ලේන් කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක සතිෂ් කුමාර් හට පීඩනයක් එල්ල කළත් එම උත්සාහයන් සාර්ථක වූයේ නැත.

තරගයේ පළමු අර්ධය නිමා වන්නට මිනිත්තු 05ක් ඉතිරිව තිබිය දී පොලිස් ක්‍රීඩා සමාජයේ එන්. එස්. කුමාර හට රතු කාඩ්පතක් විනිසුරුවරයා විසින් නිකුත් කළ අතර ඒ අනුව ඔහුට පිටියෙන් ඉවත්ව යාමට සිදු විය.

පළමු අර්ධය: පොලිස් SC 0 – 1 ජාවා ලේන් SC

තරගයේ දෙවන අර්ධයට ප්‍රබල ආරම්භයක් ලබා ගනිමින් 47 වන මිනිත්තුවේ දී තම කණ්ඩායමේ දෙවන ගෝලය රැස්කර ගන්නට ජාවා ලේන් කණ්ඩායමේ නායක රිස්කාන් ෆයිසර් සමත් විය. ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් යුතුව වුවද පන්දුව වැඩි වේලාවක් තමන්ගේ ග්‍රහණයේ තබා ගන්නට පොලිස් ක්‍රීඩකයින් සමත් වූ නමුත් ජාවා ලේන් කණ්ඩායමේ ‘Centre-back’ යුගළය වූ ෆරූඩ් ෆායිස් සහ ‘Tboy’ ෆ්‍රැන්සිස් හමුවේ ඔවුන්ට ගෝලයක් රැස්කර ගන්නට අවස්ථාවක් ලැබුණේ නැත.

අනතුරුව ජාවා ලේන් කණ්ඩායමට තවත් ගෝලයක් රැස්කර ගන්නට තවත් අවස්ථාවන් කිහිපයක්ම ලැබුණත් ඒවා සාර්ථක කර ගන්නට ෂෆ්රාස් කායිස්, ජනක චමින්ද සහ නවීන් ජූඩ් සමත් වූයේ නැත. තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී තරගයට ආදේශ කරන ලද ජාවා ලේන් කණ්ඩායමේ මොහොමඩ් අබ්දුල්ලා තම කණ්ඩායමේ 3 වන ගෝලය වාර්තා කර ගත්තේ තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගනිමිනි.

පසුව කායිස් විසින් හිසින් පහරක් එල්ල කරමින් ජාවා ලේන් කණ්ඩායම වෙනුවෙන් තවත් ගෝලයක් රැස්කර ගන්නට සමත් වුවත් එහි දී ‘Offside’ නීතිය උල්ලංඝනය වූ බව විනිසුරුවරයා සංඥා කිරීමත් සමඟ එම ගෝලය අහිමි විය.

සම්පූර්ණ කාලය: පොලිස් SC 0 – 3 ජාවා ලේන් SC

ThePapare.com තරගයේ වීරයා – රිස්කාන් ෆයිසර්

ගෝල ලාභීන්

ජාවා ලේන් SC – එම්මානුවෙල් යුචේනා 26’, රිස්කාන් ෆයිසර් 47’, මොහොමඩ් අබ්දුල්ලා 85’

කාඩ්පත්

කහ කාඩ්පත්

  • ජාවා ලේන් SC – නවීන් ජූඩ් 90+1

රතු කාඩ්පත්

  • පොලිස් SC – එන්. එස්. කුමාර 40’

Highlights – Super Sun SC v Blue Star SC – DCL17 (Week 1)

Uploaded by ThePapare.com on 2017-09-08.

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට