එංගලන්තයේ බර්මින්හැම් හිදි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පස්වැනි දිනය ඊයේ (2) නිමාවට පත්වුණා.
බර ඉසිලීමේ ඉසව්වලින් නව වාර්තා කිහිපයක්ම බිහිවෙද්දී, මලල ක්‍රීඩා පිටිය ඊයේ ඉතා උණුසුම් වුනා.
පිහිනුම්
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ඉතිහාසයේ සාර්ථකම ක්‍රීඩිකාව බවට පත් වන්නට ඕස්ට්‍රේලියාවේ Emma McKeon ඊයේ සමත් වුනා. ඒ, ඇය විසින් ඊයේ දිනා ගත් පදක්කම් දෙකත් සමඟයි. McKeon පොදුරාජ්‍ය මණ්ඩලය ක්‍රීඩා උළෙලවල දී පදක්කම් 19ක් දිනාගෙන තිබෙනවා. ඉන් පදක්කම් 13ක්ම රන් පදක්කම් වීම විශේෂත්වයක්.

කාන්තා මීටර 100 නිදහස් ආර තරග ඉසව්වේ ලෝකඩ පදක්කම ද දිනා ගන්නට Emma McKeon ඊයේ සමත් වුනා. එම ඉසව්වේ රන් පදක්කම හා රිදී පදක්කම ඕස්ට්‍රේලියාවේම Mollie O’callaghan හා Shayna Jack දිනා ගැනීම විශේෂත්වයක්.

මලල ක්‍රීඩා
මලල ක්‍රීඩා ඉසව් කිහිපයකම අවසන් මහා තරග ඊයේ පැවැත්වුණා. කාන්තා රිටි පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට ඕස්ට්‍රේලියාවේ Nina Kennedy සමත් වුනා. ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 4.60ක්. රිදී පදක්කම එංගලන්තයේ Molly Caudery විසින් දිනා ගනිද්දී, ලෝකඩ පදක්කම හිමි වුනේ නවසීලන්තයේ Imogen Ayris හටයි.

පිරිමි මීටර් 10,000 ඉසව්වෙන් නව තරගාවලි වාර්තාවක් පිහිටුවන්නට උගන්ඩාවේ Jacob Kiplimo සමත් වුනා. ඔහුට ඉසව්ව නිමා කරන්නට ගත වූ කාලය මිනිත්තු 27:09.19ක්. එම ඉසව්වේ දෙවැනි හා තෙවැනි ස්ථාන කෙන්යාවේ Daniel Simiu Ebenyo හා Kibiwott Kandie විසින් දිනා ගත්තා.
ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුව, යුපුන් අබේකෝන් ඊයේ තරග බිමට පිවිසුණා. එමෙන්ම ගයන්තිකා අබේරත්න කාන්තා මීටර් 800 මූලික වටයේ දී ජාතික වාර්තාවක් ද අලුත් කළා.
- යුපුන් මීටර් 100 අවසන් පූර්ව වටයට
- පොදුරදමඬුලු බිමේ දී ගයන්තිකා ජාතික වාර්තාවක් අලුත් කරයි
- චාමර, රුක්මල් සහ සංජීවනී අර්ධ අවසන් පූර්ව වටයට
- පොදුරදමඬුලු ක්‍රීඩා උළෙලේ අපේ පුරාජේරුව
- පොදුරදමඬුලු දිනන්නට යන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්
බැඩ්මින්ටන්
බැඩ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට මලයාසියාව සමත් වුනා. පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 5න් 4 වතාවක්ම එම ඉසව්ව ජයගෙන තිබුණේ මලයාසියාවයි. ඔවුන් හමුවේ අවසන් මහා තරගයේ දී ඉන්දියාව පරාජයට පත්වුනා. මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ සිංගප්පූරුවයි.
ක්‍රිකට්
කාන්තා ක්‍රිකට් ඉසව්වේ මූලික වටයේ තවත් තරග දෙකක් ඊයේ පැවැත්වුණා. දකුණු අප්‍රිකාව එංගලන්ත හමුවේ පරාජය වෙද්දී ශ්‍රී ලංකාව නවසීලන්තය හමුවේ පරාජය වුනා.
නවසීලන්තය පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 147ක් රැස් කළා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කඩුලු 8ක් දැවී රැස් කරගන්නට හැකි වුනේ ලකුණු 102ක් පමණයි.
මේසපන්දු
පිරිමි කණ්ඩායම් මේසපන්දු ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට ඉන්දියාව සමත් වුනා. ඔවුන් හමුවේ තරග 3-1ක් ලෙස පරාජය වුනේ සිංගප්පූරුවයි. එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි වුනේ එංගලන්තයයි.
බර ඉසිලීම
බර ඉසිලීමේ ඉසව් කිහිපයකම අවසන් මහා තරග ඊයේ පැවැත්වුනා. කාන්තා 76kg බර පන්තියේ රන් පදක්කම දිනා ගන්නට කැනඩාවේ Maya Laylor සමත් වුනා. ඒ නව තරගාවලි වාර්තාවක් ද සමඟිනුයි. ඇය එසවූ මුළු බර ප්‍රමාණය 228kgක්.
එම ඉසව්වේ රිදී පදක්කම කනිෂ්ඨ පොදුරාජ්‍ය මණ්ඩලීය වාර්තාවක් සමඟින් Taiwo LIADI දිනා ගනිද්දී, ලෝකඩ පදක්කම නාවුරු හි Maximina Uepa විසින් දිනා ගත්තා.

පස්වැනි දිනය අවසානයේ පදක්කම් සටහන දිස්වන්නේ මෙලෙසයි.

22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිරි-අසිරිය ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<






















