ශ්‍රී ලංකාව තියුණු තරගයකින් අනතුරු ව බංග්ලාදේශයටත් පරාජය වෙයි

CAVA Men's Volleyball Nations League

55

මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමය සංවිධානය කරන CAVA Nations කුසලාන වොලිබෝල් ලීග් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අද (24) බංග්ලාදේශයේ Dhaka හි දී පැවැති තරගයෙන් තරග වට 3-2ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වෙනවා.  

තරගයේ පළමු වටය ආරම්භයේ සිට ම දෙරට ක්‍රීඩකයෝ තියුණු තරගයට එක් වූ අතර ටික වේලාවක් යද්දී ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණීම කැපී පෙනුණා. එම තත්ත්වය ලකුණු 10ක් වෙද්දී මඟ හරවා ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වෙනවා.  

එතැන් සිට ලකුණු පුවරුවේ ඉදිරියට යෑමට දෙපිල අතර පැවැතියේ තියුණු තරගයක්. එකිනෙකා නොපරදින තරගකාරීත්වයක් පවතිද්දී නැවත ලකුණු පුවරුව 15-15ක් සේ සම තත්ත්වය පත් වූවා.  

අනතුරු ව ලකුණු 18-16ක් ලෙසින් බංග්ලාදේශය ඉදිරියට පැමිණෙද්දී ශ්‍රී ලංකාව විසින් තරගයේ පළමු විවේකය ලබා ගත්තා. එතැන් සිට ද බංග්ලාදේශය ඉදිරියෙන් සිටි අතර ලකුණු පුවරුව 22-17ක් බවට පත් වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නැවත විවේකයක් ලබා ගනිමින් ඔවුන්ගේ ගමන අඩාල කිරීමට උත්සාහ කළා.  

නමුත් එවර ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ උපක්‍රමයන් සාර්ථක වූයේ නැහැ. තරගයේ පළමු වටය අවසන් වෙන්නේ ලකුණු 25-20ක් ලෙසින් බංග්ලාදේශයට ජයග්‍රහණය හිමි වෙමින්. 

දෙවැනි වටයේ දී ද දෙරට ක්‍රීඩකයෝ අතර තියුණු තරගයක් නිර්මාණය වූ අතර ලකුණු 13-12ක් සේ  ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිය දී බංග්ලාදේශය විසින් පළමු විවේකය අර ගත්තා. ලද අවසරයෙන් ලකුණු තත්ත්වය 13-13ක් සේ කරගත් බංග්ලාදේශ ක්‍රීඩකයෝ ලකුණු 19-16ක් ලෙසින් ඉදිරියට පැමිණෙද්දී, ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එවර විවේකයක් ලබා ගත්තා.  

එසේ වුවත් එතැන් සිට ද තරගයේ පාලනය බංග්ලාදේශය සතු වෙනවා. ඔවුන් තරගය අවසන් කරන්නේ ලකුණු 25-21ක් ලෙසින් ජයග්‍රහණය කරමින්.  

බංග්ලාදේශය තරග වට 2-0ක් ලෙසින් ඉදිරියෙන් සිටිමින් තෙවැනි වටයට පිවිසි අතර ඔවුන් එම වටයේ දී ද තම ආදිපත්‍ය තරගයට එක් කළා. එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ක්‍රම ක්‍රමයෙන් එම තත්ත්වයන් මඟ හරවා ගැනීමට සමත් වීම කැපි පෙණුනා. ලකුණු තත්ත්වය 20-13ක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණෙද්දී බංග්ලාදේශය විසින් තම පළමු විවේකයක් ලබා ගත්තා.  

එහෙත් එතැන් සිට ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය මනාව පාලනය කළ අතර එම වටය අවසාන කරන්නේ ලකුණු 25-15ක් ලෙසින් ජයග්‍රහණය කරමින්.  

ඒ අනුව පැවැති තරගයේ සිව් වැනි වටයේ දී පළමු ලකුණු කිහිපයේ දී ඉදිරියෙන් පසු වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුණා. නමුත් ලකුණු 9ක් වෙද්දී ලකුණු පුවරුව සම කිරීමට බංග්ලාදේශය සමත් වෙනවා.  

එතැන් සිට ලකුණක් ඇර ලකුණක් දෙපිලට බෙදී ගිය අතර එය වට 3ක් දක්වා ඇදී ගියා. අනතුරු ව ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණි අතර බංග්ලාදේශය ද ඒ පසු පස ම වැඩි පරතරයක් තබා නොගනිමින් තරග වැදුණා. කෙසේ වෙතත් ලකුණු තත්ත්වය 18-15ක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිය දී බංග්ලාදේශය පළමු විවේකය ලබා ගත්තා.  

අනතුරු ව ලකුණු තත්ත්වය 21-17ක් ලෙසින් ශ්‍රී ලංකාව තව දුරටත් ඉදිරියෙන් පසු වෙද්දී බංග්ලාදේශය නැවත විවේකයක් ලබා ගත්තා. එතැන් සිට ද ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසු වූ අතර ලකුණු 24-22ක් ව තිබිය දී පන්දුව ප්‍රදානයේ කිරීමේ අවස්ථාව බංග්ලාදේශය සතු වූ අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ විවේකයක් ලබා ගත්තා.  

ඉන් පසුව ලකුණේ දී ශ්‍රී ලංකාව ලකුණු 25-22ක් ලෙසින් තරගය අවසන් කළ ද එම ලකුණු ප්‍රදානය කළ ආකාරය සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ එතරම් ම ප්‍රසාදයක් පැවැතියේ නැහැ.  

එම අවසානයත් සමඟින් තරග වට 2-2ක් ලෙස දෙපිලට වෙන් වූ තරගයේ තීරණාත්මක වටයට පිවිසියා. එම තරග වටය ආරම්භයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වැරදි ඉලක්කයන් කිහිපයක් මඟින් ප්‍රතිවාදීන්ගේ ලකුණු තත්ත්වයට ඉහළ යද්දී ශ්‍රී ලංකාව විසින් පළමු විවේකයක් ලබා ගත්තා. ඒ වෙද්දී ලකුණු පුවරුව පැවැතියේ 4-1ක් ලෙසයි.  

විවේකයෙන් පසුව ද බංග්ලාදේශයේ අභියෝගයක් නිවැරදි ව බාර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ නැහැ. ප්‍රතිවාදීන් ලකුණෙන් ලකුණ ඉදිරියට ගිය අතර කණ්ඩායම් ද්විත්වය පැති මාරු කර ගනිද්දී ලකුණු පුවරුව දැක් වුණේ 8-5ක් ලෙස බංග්ලාදේශයට වාසි සහගත ව සිටියදීයි.  

අනතුරු ව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 7-8ක් ලෙස තරගය පවත්වාගෙන යෑමේ දී බංග්ලාදේශය තම පළමු විවේකය ලබා ගත්තා. එම විවේකයෙන් අනතුරු ව ලකුණු පුවරුව 8-8ක් ලෙසින් සම තත්ත්වයට පිවිසි අතර නැවත තරගය තියුණු මුහුණුවරක් ගත්තා.  

එතැන් සිට ලකුණෙන් ලකුණු කණ්ඩායම් අතර බෙදී ගිය අතර 11 වැනි ලකුණෙන් පසුව බංග්ලාදේශය ඉදිරියට පිවිසියා. ඒ අනුව ලකුණු තත්ත්වය 13-11ක් ලෙස පවතිද්දී නැවත ශ්‍රී ලංකාව විවේකයක් ලබා ගත්තා.  

එම විවේකයෙන් අනතුරු ව බංග්ලාදේශය ලකුණක් ලබා ගනිමින් තරගයේ අවසන් පන්දු යොමු කිරීම ලබා ගන්නවා. එය සාර්ථක කරගත් බංග්ලාදේශ ක්‍රීඩකයෝ තරගය ජයග්‍රහණය කරන්නේ 15-11ක් ලෙසිනුයි. ඒ අනුව බංග්ලාදේශය තරග වට 3-2ක් ලෙසින් ජයග්‍රහණය කරනවා.  

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය ඔක්තෝබර් 26 වැනිදා පස්වරු 2.30ට මාලදිවයින සමඟ පැවැත්වීමට නියමිතයි.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<