බලාපොරොත්තු අත් නොහැරි CPL ශූරයෝ: බාබඩෝස් ට්‍රයිඩන්ට්ස්!

75
India.com

කැරිබියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ දෙවැනි වරටත් ශූරයින් ලෙස කිරුළු දැරීමට අද (13) අලුයම බාබඩෝස් ට්‍රයිඩන්ට්ස් කණ්ඩායමට වරම් උදා විය. ඒ අවසන් මහා තරගයේ දී ශොයිබ් මලික් නායකත්වය දරන ගයානා ඇමසෝන් වොරියර්ස් කණ්ඩායම ලකුණු 27කින් පරාජය කරමිනි.

කෝලිගේ පිත්ත තවත් වාර්තාවකට ඔහුව රැගෙන යයි

ඉන්දීය නායක සුපිරි පිතිකරු විරාත් කෝලි දකුණු අප්‍රිකානු සමඟ පැවති දෙවන ටෙස්ට්…

මෙවර CPL තරගාවලිය පුරාවට ගයානා ඇමසෝන් කණ්ඩායම සුපිරි දක්ෂතා දැක්වූ අතර මූලික වටයේ තරග 10කුත්, පිළිමළුන් පිටුදැකීමේ වටයේ එක් තරගයකුත් ජය ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඔවුන්ට හැකි විය.

එසේම මූලික වටය අවසන් වනවිට ජයග්‍රහණ 5ක් පමණක් ලබා සිටි බාබඩෝස් ට්‍රයිඩන්ට්ස් කණ්ඩායම කුසලානය ජය ගනු ඇතැයි කිසිවෙකු විශ්වාස නොකළ ද අවසන් මොහොත දක්වාම බලාපොරොත්තු අත් නොහැරීමේ ගුණාංගය නිසාම රන් කුසලානයට අයිතිවාසිකම් කියූහ.

අද තරගය ආරම්භ කෙරෙමින් උරගා බැලුණු කාසියේ වාසිය ජය ගැනීමට බාබඩෝස් නායක ජේසන් හෝල්ඩර් සමත් විය. ඒ අනුව ඔහු තීරණය කළේ අවසන් තරගයක පීඩනය සමඟින් පසුව පන්දුවට පහර දීමට වඩා මුලින් පිතිකරණයේ යෙදීම වඩාත් සුදුසු වන බවයි. ඒ අනුව ඔවුන් හොඳ ආරම්භයක් ලබාගත් අතර පවර්ප්ලේ අවස්ථාව තුල ලකුණු 44ක් ලබා ගත්තේ එක් කඩුල්ලක් පමණක් අහිමි කර ගනිමිනි.

එහි දී බාබඩෝස් ට්‍රයිඩන්ට්ස් ආරම්භක පිතිකරුවන් දෙදෙනාම සාර්ථක වූ අතර මෙය ඔවුන්ට මුල සිටම තරගයේ ග්‍රහණය රැක ගැනීමට අමතර වාසියක් විය. එහි දී පන්දු 22කට පමණක් මුහුණ දුන් ජොන්සන් චාල්ස් ඉන් උපරිම ඵල නෙලා ගනිමින් හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තේය. ඔහුගේ සහායක පිතිකරු ඇලෙක්ස් හේල්ස් පන්දු 24කින් ලකුණු 28යි. ඊට හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

කමිඳු අදත් ගඟට ඉනි කපයි

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර කොළඹ ආර්…

කෙසේ නමුත් මැදපෙළ පිතිකරුවන් ලෙස ඔවුන් වැඩි විශ්වාසයක් තැබූ පිලිප් සෝල්ට් සහ ශයි හෝප් අද සාර්ථක නොවූ අතර මේ නිසා තරගයේ උණුසුම තව තවත් වර්ධනය විය. බංග්ලාදේශ සහ කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙක් වන ශකීබ් අල් හසන් සහ ජේසන් හෝල්ඩර් ද මෙම තීරණාත්මක අවසන් මහා තරගයේ දී පිත්තෙන් වැඩි යමක් කිරීමට සමත් වූයේ නැත. මේ අවස්ථාවේ බාබඩෝස් කණ්ඩායම වෙනුවෙන් තීරණාත්මක ඉනිම ක්‍රීඩා කරන්නේ වමත් පිතිකරු ජොනතන් කාටර් විසිනි.

ඉනිමේ අවසන් කොටසේ දී පන්දු 27ක් පමණක් පිළිගන්නා ඔහු එහි දී දැවැන්ත ප්‍රහාරයක යෙදෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් එල්ල කිරීමට සමත් විය. ඒ නොදැවී ලකුණු 50ක් වාර්තා කර ගනිමිනි.

මෙම වෑයම නිසාම ලකුණු 150ක පමණ මුළු ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සිටි බාබඩෝස් කණ්ඩායමට ලකුණු 171ක් දක්වා තම ඉනිම ප්‍රසාරණය කර ගැනීමට හැකිවිය. පන්දු යැවීමේ දී දකුණු අප්‍රිකානු පා දඟපන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තහීර් ලකුණු 24ට එක් කඩුල්ලක් දවා ගත්තේය.

මෙම ලකුණු පුවරුව පසුපස හඹාගිය ගයානා ඇමසෝන් කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් තිදෙනෙක් තනි ඉලක්කමේ ලකුණුවලට දැවී යාම ඔවුන්ගෙන් මෙවර CPL කිරුළ ගිලිහී යාමට දැඩි ලෙස හේතු විය. ඉන් කඩුලු දෙකක්ම හිමි වූයේ ජාත්‍යන්තර පිටියට තවමත් කෝඩුකාරයෙකු වන වමත් වේගපන්දු යවන ක්‍රීඩක රේමන් රීෆර්ටයි. ඔහු තරගය අවසන් වන විට කඩුලු 4ක් බිඳ දමා අවසන් වී තිබුණි.

අන්තර් සමාජ නැගී එන ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ නැගී එන ක්‍රිකට් තරගාවලියේ…

එක් අන්තයකින් කඩුලු බිඳ වැටෙද්දී ගයානා බලාපොරොත්තු ඉටු කිරීමට උත්සාහ කළ ආරම්භක පිතිකරු බ්‍රැන්ඩන් කින් පන්දු 33කින් ලකුණු 43ක් රැස්කර ගත්තේය. ඒ හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමඟිනි.

මැදපෙළ පිතිකරු නිකලස් පූරන් ලකුණු 25යි. ගයානා පිතිකරුවන් බොහෝ දෙනෙකු මෙම අවසන් තරගයේ දී සැලකිය යුතු දස්කම් ප්‍රකට කිරීමට අසමත් වීම නිසා ඔවුන්ට අවසන් පන්දුවාර 4ට ලකුණු 67ක අසීරු ඉලක්කයක් හිමිවිය.

එහි දී පසුපෙළ පිතිකරුවෙකු ලෙස කීමෝ පෝල් පන්දු 14කට මුහුණ දෙමින් ලකුණු 25ක් රැස් කළ ද ගයානා ඇමසෝන් පිළේ දෛවය වෙනස් කිරීමට මෙම ඉනිම ප්‍රමාණවත් නොවීය. ඒ අනුව පන්දුවාර 20 අවසානයේ ඔවුන් කඩුලු 9ක් දැවී ලබා ගත්තේ මුළු ලකුණු 144ක් පමණි.

අවසන් තරගයේ වීරයා ලෙස ජොනතන් කාටර් සම්මාන දිනා ගනිද්දී තරගාවලියේ වීරයා ලෙස සුපිරි පන්දු යැවීමක යෙදුණු පා දඟපන්දු යවන ක්‍රීඩක හේඩන් වොල්ශ් ගෞරවයට පාත්‍ර විය.

බාබඩෝස් ට්‍රයිඩන්ට්ස් – කඩුලු 6ක් දැවී ලකුණු 171 (පන්දුවාර 20): ජොනතන් කාටර් 50*, ජොන්සන් චාල්ස් 39, ඇලෙක්ස් හේල්ස් 28, ඈෂ්ලි නර්ස් 19, ශකීබ් අල් හසන් 15, ඉම්රාන් තහීර් 1/24, බෙන් ලොග්ලින් 1/28, රොමාරියෝ ෂෙපර්ඩ් 1/29.

ගයානා ඇමසෝන් වොරියර්ස් – කඩුලු 9ක් දැවී ලකුණු 144 (පන්දුවාර 20): බ්‍රැන්ඩන් කින් 43, කීමෝ පෝල් 25, නිකලස් පූරන් 24, රොමාරියෝ ෂෙපර්ඩ් 9, රේමන් රීෆර් 4/24, ඈෂ්ලි නර්ස් 2/17, හැරී ගර්නි 2/24.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<