කාගිල්ස් ෆුඩ් සිටි FA කුසලානය සිව්වන වරටත්

489
Cargills Food City FA Cup 2017

2017 කාගිල්ස් ෆුඩ් සිටි FA කුසලාන පාපන්දු තරගාවලිය ඊයේ (නොවැම්බර් 24) නිල වශයෙන් ආරම්භ කෙරුනේ ශ්‍රී ලංකා පාපන්දු නිවහනේදී පැවති මාධ්‍ය සාකච්ඡාවක් සමඟිනි.

පසුගිය ලිපි: සුපිරි අටදෙනාගේ තරග ලබන ජනවාරි දක්වා කල්යයි

කාගිල්ස් (ලංකා) PLC සමාගම, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමඟ පවතින සහයෝගීතාව පදනම් කරගෙන කාගිල්ස් ෆුඩ් සිටි ආයතනය FA කුසලාන අන්තර් සමාජ පාපන්දු තරගාවලියට අනුග්‍රාහකත්වය සපයන්නේ නොකඩවා සිව්වන වරටයි.

ඊයේ නිල වශයෙන් ආරම්භ කෙරුණු තරගාවලියට දිවයින පුරා පාපන්දු ලීග් 66ක් නියෝජනය කරමින් කණ්ඩායම් 670ක් සහභාගී වන අතර තරගාවලියේ මූලික වටයන් පිළිමලුන් පිටුදැකීමේ ලීග් ක්‍රමයකට පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව සියලුම පාපන්දු ලීගයන් තම ලීගයට අදාළ කණ්ඩායම් අතර පිළිමලුන් පිටුදැකීමේ ලීග් ක්‍රමයට තරගාවලියක් පැවැත්විය යුතු අතර ආරක්ෂක සේවා කණ්ඩායම් 6 හැරුණු විට ඉතිරි ලීග් 60 මගින් පැවැත්වූ තරගාවලි ජයග්‍රාහකයන්, ඉදිරි වටයට සුදුසුකම් ලබයි. ඒ අතරින් කණ්ඩායම් 6කට 3 වන වටයට පිවිසීමට අවස්තාව කුසපත් ඇදීම මගින් (BYE) හිමි වන අතර ඉතිරි කණ්ඩායම් 54 දෙවන වටය තුලදී ද පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට තරග වැදීමට නියමිතයි.

එහිදී ජයගන්නා කණ්ඩායම් 27 මෙන්ම කුසපත් ඇදීමෙන් 3 වන වටයට පිවිසි කණ්ඩායම් 6ට අමතරව 2015 FA කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් 32 අතුරින් කණ්ඩායම් 31ක් ද 3 වන වටයට සුදුසුකම් ලබයි. මේ අනුව 3 වන වටයට සුදුසුකම් ලබන සම්පූර්ණ කණ්ඩායම් සංඛ්‍යාව 64කි.

තරගාවලිය ආරම්භයට ප්‍රථමයෙන් කණ්ඩායම් 91 තුලින් කණ්ඩායම් 29ක් ඉදිරි වටයට සුදුසුකම් ලබන්නේ පසුගිය වසරේ FA  කුසලාන තරගාවලියේ දී දැක්වූ දස්කම් පදනම් කර ගනිමිනුයි. මෙම වටයේ තරග පැවැත්වීම සඳහාද වෙනම කුසපත් ඇදීමක් (තරග කාලසටහන සැකසීම සඳහා) පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම පසුගිය වසරේ FA කුසලාන ශූරතාව දිනා ගත්තේ අවසන් මහා තරගයේදී රිනවුන් කණ්ඩායම ගෝල 3 ට 1 ක් ලෙස පරාජය කරමිනුයි.

කාගිල්ස් ෆුඩ් සිටි මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන අතර බොහෝ කාලයක සිට පැවතෙන ලොව පුරා පිළිගත් FA කුසලාන තරගාවලි වලදී පිරිනැමෙන FA කුසලානය හා සමානම ශූරතා කුසලානයක් මෙරට FA කුසලාන ජයග්‍රාහකයන් වෙත ලබා දීමේ පුරෝගාමිත්වය ද ඔවුන් හට හිමිවෙයි.  FA කුසලාන තරගාවලිය ලොව ඕනෑම කුඩා සහ නැගී එන පාපන්දු කණ්ඩායම් වල සහ ඒවායේ ක්‍රීඩා ලෝලීන්ගේ සිහිනයක් වන්නේ මෙම තරගාවලියේ ඕනෑම අවස්තාවකදී ප්‍රබල කණ්ඩායමක ඉදිරි ගමන නවතා දැමීමේ අවස්තාව නැගී එන කණ්ඩායම් සතුව පැවතීම හේතුවෙනුයි.

කාගිල්ස් සමාගම මෙරට තරුණ ජවය සංවර්ධනය සඳහා ක්‍රීඩාව තුලින් නිරන්තර දායකත්වයක් සපයන සමාගමකි. ඔවුන් එම ක්‍රියාවලිය තුලදී පාපන්දු ක්‍රීඩාවට වැඩි අවස්තාවක් ලබා දෙන්නේ එමගින් මිලියන ගණනක තරුණ ජීවිත වලට ආමන්ත්‍රණය කිරීමේ හැකියාව ද මනාව වටහා ගනිමිනුයි.

”අපි විශ්වාස කරනවා කාගිල්ස් ෆුඩ් සිටි කණ්ඩායම හරහා ශ්‍රී ලංකා පාපන්දු ක්ෂේත්‍රය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉහල දායකත්වයක් ලබා දිය හැකි බව. රට පුරා දක්ෂ තරුණ තරුණියන් මෙන්ම පාපන්දු ක්‍රීඩාවේ විශිෂ්ටයන්ද ජාතික තලයේ දස්කම් වෙත ගෙන යාම සඳහා අපි සපයන දායකත්වය ඉතා වැදගත් වනවා.” කාගිල්ස් ආහාර සමාගමේ (Cargills Foods Company) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධම්මික ගුරුගේ මහතා මෙම මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.

දිවයින පුරා පාපන්දු ලෝලීන් හට මේ වසරේදීත් බලාපොරොත්තු නොවන ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් සිටිය හැකි වන්නේ එංගලන්ත FA කුසලානයේම අනුරුවක් ලෙස නිර්මාණය වී ඇති මනස්කාන්ත කුසලානයේ අයිතිය සහ විශාල මුදල් ත්‍යාගයේ හිමිකාරීත්වය තහවුරු කර ගැනීමේ හැකියාව ඕනෑම කණ්ඩායමකට හිමිවන ලෙසින් මෙම  තරගාවලිය සංවිධාන කර තිබීම නිසාවෙනුයි.

තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට