500 සීමාවට ගිය බ්‍රෝඩ් ඉදිරිය ගැන කියයි

168

ගෙවී ගිය වසර දෙකක කාලය තුල එංගලන්තයෙන් බිහි වූ දක්ෂතම වේගපන්දු යවන ක්‍රීඩකයා වන ස්ටුවර්ට් බ්‍රෝඩ් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා නම් නොවූ නමුත් ඔහු එම තරගාවලිය අවසානයේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට ද පත් විය.

LPL අදිමදි කරන හිටපු ඉන්දීය ක්‍රීඩකයා

ඔහු එම තරගාවලිය තුල ක්‍රීඩා කළේ තරග දෙකක් පමණක් වුවත් එම තරග දෙක තුල ඔහු කඩුලු 16ක් දවා ගනිමින් දස්කම් දැක්වූයේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටිය තුල කඩුලු 500 සීමාව පසුකර ගිය 7 වැනි ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වෙමිනි. 

එසේම එම දස්කම එංගලන්ත පන්දු යවන්නෙක් සිදු කළ දෙවැනි අවස්ථාව (මීට පෙර ජේම්ස් ඇන්ඩර්සන් එවැනි දස්කමක් දක්වා ඇත) එයයි. මාස 4ක පමණ විරාමයකට පසුව ක්‍රිකට් පිටියට පැමිණ තරග දෙකක් තුල කඩුලු 16ක් දවා ගැනීම සඳහා විශේෂ හැකියාවක් තිබිය යුතුමය. එය බ්‍රෝඩ් සතු බව ඔහු මනාවට පෙන්නුම් කළේය.

“පළමු තරගය ක්‍රීඩා කරන සංචිතය තුල මම හිටියේ නැහැ. ඒකට මට ගොඩක් දුක හිතුණා. මම ගොඩක් කල්පනා කළා ඒ ගැන. මට නින්ද ගියෙත් නැහැ. මම හැබැයි ඒ ගැන කාටවත් කියන්න ගියේ නැහැ. මම වැටුණු හැම වෙලාවකම වගේ මගේ පවුලේ අය මගේ ළඟින්ම හිටියා. ඒ වගේම ස්ටෝක්ස් පුද්ගලිකව මාත් එක්ක කතා කරලා මගේ හිත හැදුවා.”

වයස අවුරුදු 34ක් වන බ්‍රෝඩ් 2007 වසරේ සිට මේ දක්වා ටෙස්ට් ක්‍රිකට් තරග 140ක් ක්‍රීඩා කර ඇති අතර එහි දී ඔහු විසින් කඩුලු 501ක් දවාගෙන ඇත්තේ  27.90ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

“මම හිතන විදිහට දැන් තමයි මගේ හොඳම අවදිය. අවුරුදු 21 දී ක්‍රිකට් සෙල්ලම් කරපු මම නෙමෙයි දැන් මෙතන ඉන්නේ. මට දැන් වයස අවුරුදු 34ක්. මම ගෙවුණු අවුරුදු 13ක වගේ කාලය තුල ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් අත්දැකීම් ලබා ගත්තා. ඒක නිසයි මම දැන් කියන්නේ මේ තියෙන්නේ මගේ හොඳම කාලය කියලා. එක නිසා ඉදිරි කාලය තුල මට තව තවත් හොඳ දස්කම් දක්වන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා” බ්‍රෝඩ් පැවසීය.

“මම සහ ජිමී (ඇන්ඩර්සන්) කියන්නේ හොඳ සුසංයෝගයක් කියලා මම හිතනවා. අපි දෙන්නම ගොඩක් කාලයක් තිස්සේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල ක්‍රීඩා කරනවා. මම මගේ 400 වැනි කඩුල්ල ලෙස ටොම් ලේතම් දවා ගත්තේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව 2018 වසරේ දී. එතකොට මට රිචර්ඩ් හාර්ඩ්ලි මහත්මයා පොතක් දුන්නා. එකේ ඔහු ලියලා තිබ්බා ඔබ දැන් කඩුලු 500 සීමාවට යන්න ඕන කියලා. මම දැන් ඒ සීමාව පසු කළා කියලා දැනෙන කොට එන හැඟීම වචනවලට කියන්න බැහැ. මට පුදුම සතුටක් දැනෙනවා.”

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ලොකු වෙයි?

“මම කිසි විටෙකත් නිශ්චිත ඉලක්ක තබා නැත, නමුත් මම සෑම විටම කෙටිකාලීන ඉලක්ක තබා ගැනීමට උත්සාහ කරන අයෙක් වෙනවා. මට මගේ මේ තිබෙන උසත් එක්ක තව ලොකු වාසියක් ගන්න පුළුවන් කියලා හිතනවා. ඒක නිසා මම දැන් මේ දවස්වල ඒකට වැඩ කරනවා. විශේෂයෙන් පන්දුව දෝලනය කිරීම වගේ දේවල් තව තව අධ්‍යනය කරන තරමට අපිට වාසියි.”

“ජිමී සහ මගේ ඊළඟ අභියෝගය වෙලා තියෙන්නේ කඩුලු 600 සීමාවට යන එක. ඒක අපි හිතන කියන තරම් ලේසි නැහැ. ඒකට තව තව මහන්සි වෙන්න ඕනේ වගේම කැප වෙන්න ඕනේ. ඒ වගේම ඒ දස්කම්වලින් රට වෙනුවෙන් තරග දිනවලා දෙන්න මම ගොඩක් ආසයි. මගේ ඇඟට ඇතිවෙනකන් මම ආසාවෙන් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.”

Cricbuzz ඇසුරෙන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<