ලක් දියණියෝ රග්බි කිරුළු පලඳිති

399
Sri Lanka Women champions in Borneo 7s

සුපිරි දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩයම ප්‍රථම වරට බෝර්නියෝ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

පුහුණුකරු සුදත් සම්පත් මහතාගේ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් තායිලන්තය අවසන් මහා තරගයේ දී ලකුණු 12-05ක් ලෙස පරාජය කරන ලදී. ඊට පෙර ඔවුන් විසින් මැලේසියා කණ්ඩායම ලකුණු 29-05ක් ලෙස අවසන් පූර්ව තරගයේ දී පරාජය කරන ලදි. ශ්‍රී ලංකාව ප්‍රථම දිනයේ දී පැවැත්වුණු තරග දෙකම ජය ගැනීමට සමත් විය. ඒ Sabah Eagles කණ්ඩායම ලකුණු 48-00ක් ලෙස ද, තායිලන්ත කණ්ඩායම ලකුණු 26 – 05ක් ලෙස ද පරාජය කරමිනි.

අර්ධ අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකාව හොංකොං මුණ ගැසෙයි

Borneo 7s, තරග හතරක් අවසානයේ තරග දෙකක් ජයග්‍රහණය කරමින් හා තරග දෙකක් පරාජය වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරමක් ස්ථාවර…

මෙය ඔවුන්ගේ එතෙක් මෙතෙක් හොඳම දස්කමයි. අයේෂා පෙරේරා, තනුජා වීරක්කොඩි, අනුෂා අත්තනායක, රන්දිකා කුමුදුමාලි හා දසුනි සිල්වා ඉතා හොඳින් ක්‍රීඩා කරනු දක්නට ලැබුණු අතර ඔවුන් උත්සාහක දිනුම් ද වාර්තා කිරීම කැපී පෙනෙන සිදුවීමක් විය.

” මම මෙම තරගාවලිය ජයග්‍රහණය කිරීම පිළිබඳව අතිශයෙන් සතුටු වෙනවා. මෙම ක්‍රීඩිකාවන් ඉතාමත් දක්ෂ ලෙස හා කැප වීමෙන් පසුගිය මාස තුන පුරාවට පුහුණුවීම් වල නිරත වුනා. අනෙකුත් කණ්ඩායම් මෙන් ඔවුන්ට අනුග්‍රාහකයන් සිටියේ නැහැ. ඒ නිසා මම මේ අවස්ථාවේ SAGT ආයතනයට ස්තුති කිරීමට කැමතියි. මේ ජයග්‍රහණය අපට ඉදිරි තරග වල දී හොඳින් දස්කම් දැක්වීමට රුකුලක් වෙන බවට මම විශ්වාස කරනවා” යැයි ThePapare.com සමඟ මැලේසියාවේ සිට අදහස් දක්වමින් පුහුණුකරු සුදත් සම්පත් මහතා පැවසීය.

මීට පෙර තායිලන්තය ආසියානු සත් සාමාජික රග්බි තරග වල දී  ශ්‍රී ලංකාවට පරාජය කිරීමට අසීරු කණ්ඩායමක් විය. නමුත් තායිලන්ත කාන්තාවන් දෙවරක් පරාජය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ කැපී පෙනෙන ධනාත්මක සාධකයකි. විශේෂයෙන්ම ක්‍රීඩා රටාව සහ ක්‍රීඩිකාවන්ගේ ආකල්ප ඉතාමත් අගය කල යුතු මට්ටමේ පසු වූ අතර ශ්‍රී ලංකා පිරිමි සත් සාමාජික කණ්ඩායමෙන් පවා දැකිය නොහැකි වූ ගුණාංග ඔවුන් තුලින් දිස් විය.

ජයග්‍රාහී සංචිතය – රන්දිකා කුමුදුමාලි (නායිකා), අනුශා අත්තනායක, අයේෂා පෙරේරා, අයේෂා කලුආරච්චි, චරනි ලියනගේ, දසුනි ද සිල්වා, දිලිනි කාංචනා, දුලානි පල්ලිකොන්දගේ, නදීකා මුණසිංහ, සංජීවනී ද සිල්වා, තනූජා වීරක්කොඩි, වාසනා වීරක්කොඩි.  

ඒ අතරවාරයේ ශ්‍රී ලංකා පිරිමි සත් සාමාජික කණ්ඩායම අද දරුණු පරාජයන් දෙකකට මුහුණ පානු දක්නට ලැබිණි. ප්‍රථමයෙන් කුසලානය සඳහා වන අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක දී හොංකොං අතින් ලකුණු 31-00ක් ලෙස අන්ත පරාජයක් ලැබූ අතර පලිහ සඳහා වන අවසන් තරගයේ දී DBKL කණ්ඩායම අතින් 33-15ක් ලෙස පරාජය විය. ශ්‍රී ලංකා කණ්ඩායම අද ලැබූ එකම ජයග්‍රහණය මැලේසියා කණ්ඩායමට එරෙහිව පලිහ සඳහා වන අවසන් පූර්ව වටයේ තරගයේ ලද 26-05ක් ජයග්‍රහණය දැක්විය හැකිය.

කණ්ඩායම පිටත් ව යාමට පෙර පුහුණුකරු පීටර් වුඩ්ස් මහතා ප්‍රකාශ කර සිටියේ කණ්ඩායම සත් සාමජික රග්බි සඳහා අවශ්‍ය ශාරීරික යෝග්‍යතා මට්ටමේ නොසිටින බවයි. එමෙන්ම මීළඟට හොංකොං හි දී පැවැත්විමට නියමිත ලෝක ශූරතා සත් සාමාජික රග්බි  තරගාවලියේ තේරීම් තරග සඳහා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්ම සිදු කිරීමට බලාපොරොත්තු වන බවට හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල මට්ටමක සිටියේ ශාරීරික යෝග්‍යතාව අතින් පමණක් නොවේ. Restart, Kick-off, breakdown, lineout, තමන්ගේ මීටර 22 සීමාව තුල ක්‍රීඩා කරන ආකාරය ආදී අංශ රැසක දුර්වලතා රැසක් දක්නට ලැබිණි. සති තුනක පුහුණුවක් කිසිසේත් ප්‍රමාණවත් නොවන අතර ඔවුන්ට යලිත් දැඩි කැප වීමෙන් පුහුණුවීම් වල නිරත වීමට සිදු වනු ඇත.

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට