බංගලියන් පාකිස්තානයට යාම ප්‍රතික්ෂේප කරන ලකුණු

72

අදියර තුනකින් සමන්විත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය නිමාවට පත්කරමින් පැවැත්වීමට නියමිත තෙවැනි සහ අවසන් අදියරට මත්තෙන් ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය තත්වය ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දෙරටේම ක්‍රිකට් පාලක මණ්ඩලයන් නුදුරු දිනයක දී රැස්වීමට නියමිත බව සඳහන් වේ.

පාකිස්තානයේ සින්ද් ප්‍රදේශය ආශ්‍රීතව නව කොරෝනා වයිරස් ආසාදිතයන් කිහිපදෙනෙකුම හඳුනා ගැනීමත් සමඟම රෝගය පැතිර යාමේ අවදානම අවම කිරීමේ අරමුණින් එම ප්‍රදේශයේ පාසල් සියල්ලම පාහේ මාර්තු 13 වැනිදා වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ. 

එවැනි වාතාවරණයක් හමුවේ තරගාවලිය නියමිත දිනට ක්‍රියාත්මක කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීමේ අපේක්ෂාවෙන්  බංග්ලාදේශ සහ පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් ඉදිරියේ දී රැස්වීමට නියමිතය.

මාධ්‍ය අමතමින් මේ පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ජලාල් යුනිස් මහතා සඳහන් කර සිටියේ ක්‍රිඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳව සෑමවිටම තමන් ඇතුළු අනෙකුත් නිලධාරි මණ්ඩලය ප්‍රමුඛ ස්ථානයක් ලබා දී කටයුතු කරන බවයි. එම නිසාවෙන් කිසිදු අයුරකින් ඊට පටහැනිව කටයුතු කිරීමට තමන් සූදානම් නොමැති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන්කොට සිටියේය.

“අපි මේ සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව හෝ සෞඛ්‍ය තත්වයට තර්ජනයක් වෙන කිසිදු ක්‍රියාමාර්ගයකට අපි සහය දක්වන්නේ නැති බව අවධාරණය කර සිටිනවා. නමුත් අපි දැන්මම කලබල වෙන්න ඕන නැහැ, තාමත් හරි තීරණයක් ගන්න අපිට කාලය ඉතිරි වෙලා තියෙනවා.”

තරගාවලියේ තෙවැනි අදියර එක් ටෙස්ට් තරගයක් සහ එක්දින තරගයකින් සමන්විත වන එම තරග ද්විත්වය පිළිවෙළින් අප්‍රේල් මස 3 වැනිදා සහ 5 වැනිදා පාකිස්තානය කරච්චි නුවර දී ක්‍රියාත්මක වීමට නියමිතය. මේ වන විට කෝවිඩ්-90 නව කොරෝනා වයිරසය වැලඳුණු පුද්ගලයින් 5 දෙනෙකු පිළිබඳව පාකිස්තානයෙන් වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු කරච්චි නගර වැසියන් වීම ද කැපිපෙනේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<