යුධ හමුදාව විසින් අවසන් දිනය අත්පත් කරගන්නා ලකුණු

308

සමස්ත ලංකා ආධුනික බොක්සිං තරගාවලියේ අවසන් පූර්ව තරග අද (01) කොළඹ MAS රාජකීය බොක්සිං අංගනයේ දී අවසන් වුනා. හෙට පැවැත්වෙන අවසන් මහා තරග සඳහා වැඩිම පිරිසක් තේරී පත්ව ඇත්තේ ශ්‍රී ලංකා යුධ හමුදාවෙනි.

පෙර වසරේ මෙන් වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් තරගාවලියට සහභාගී වී නැතත්, සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උද්යෝගය එලෙසින්ම පැවතිණි. පැවති කාන්තා තරග සඳහා ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය එතරම් සතුටුදායක නැත.

යුධ සහ ගුවන් ක්‍රීඩකයින්ගෙන් බොක්සිං වළල්ල උණුසුම් වේ

නව බොක්සිං තරු ජාතික බොක්සිං වළල්ලට දායාද කරන ජාතික ආධුනික බොක්සිං ශූරතා තරගාවලිය මේ දිනවල කොළඹ MAS රාජකීය බොක්සිං කවයේ දී පැවැත්වේ.

  කාන්තා  

  • කි.ග්‍රෑම්. 48 (ලයිට් ෆ්ලයි වෙයිට්)

ක්‍රීඩිකාවන්ගේ සහභාගී වීම මදිකම නිසා අද පැවති තරගය අවසන් මහා තරගයක් සේම සැලකිය හැක. එහි දී යුධ හමුදාවේ එන්. සුභාෂිනී පරාජය කළ පොලිස් ක්‍රීඩා සමාජයේ එස්. ඉලංගරත්න ක්‍රීඩිකාව ජය ලැබුවාය.

  • කි.ග්‍රෑම්. 54 (බැන්ටම් වෙයිට්)

MAS ලීනියා ක්‍රීඩා සමාජයේ එන්. ප්‍රියදර්ශනී විසින් වේයන්ගොඩ බොක්සිං සමාජයේ එස්. අහල්‍යා පරාජය කොට මෙහි ශූරතාවය දිනා ගන්නා ලදි.

  • කි.ග්‍රෑම්. 64 (වෙල්ටර් වෙයිට්)

ලීනියා ක්‍රීඩා සමාජයේ හේෂානි පෙරේරා, ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ කේ. තිවන්කා ඉදිරියේ පරාජය ලැබුවාය.

    පිරිමි    

  • කි.ග්‍රෑම්. 49 (ලයිට් ෆ්ලයි වෙයිට්)

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ නදීක කුමාර සහ පේරාදෙණිය බොක්සිං සමාජයේ එන්. ජිනදාස අතර අවසන් පූර්ව තරගයේ දී ජය ලබාගත්තේ ජිනදාසයි.

දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා පොලිස් ක්‍රීඩා සමාජයේ එස්. ඉන්ද්‍රරත්න සහ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ එන්. ගුණරත්න තරග වැදිණි. එහි දී ජය ලබන්නට ගුණරත්න සමත් විය.

  • කි.ග්‍රෑම්. 52 (ෆ්ලයි වෙයිට්)

පේරාදෙණිය බොක්සිං සමාජයේ ඩී. විද්‍යාලංකාර සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ පී. අබේරත්න අතර අවසන් පූර්ව තරගයේ දී විද්‍යාලංකාර ජය ලැබුවේ තියුණු තරගයකින් අනතුරුවයි.

මෙහි දෙවැනි අවසන් පූර්ව තරගයේ දී පොලිස් ක්‍රීඩා සමාජයේම ක්‍රීඩකයන් දෙදෙනෙකු සටන් බිමට පිවිස තිබිණි. බී. සුරවීර සහ එල්. එරන්ද අතර ඒ තරගයේ දී එරන්දට ජය හිමි විය.

  • කි.ග්‍රෑම්. 56 (බැන්ටම් වෙයිට්)

පොලිස් ක්‍රීඩා සමාජයේ ආර්. ප්‍රසන්න සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එම්. දසනායක අතර පැවති අවසන් පූර්ව තරගයේ දී ප්‍රසන්නට ජය හිමි විය.

අනෙක් අවසන් පූර්ව තරගය පැවැත්වුණේ කඳුරට බොක්සිං සමාජයේ ඩී. බාලසූරිය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ පී. ද සිල්වා අතරයි. එහි ජය බාලසූරියට හිමි විය.

  • කි.ග්‍රෑම්. 60 (ලයිට් වෙයිට්)

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ඒ. සඳරුවන් සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ කේ. බස්නායක අතර පැවති අවසන් පූර්ව තරගය ජය ගන්නට බස්නායක සමත් විය.

මීළඟ අවසන් පූර්ව තරගය ජය ගත්තේ විද්‍යාරතන විද්‍යාපීඨයේ ඩී. හෙට්ටිආරච්චි විසිනි. ඒ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ පී. දයාරත්නට එරෙහිවයි.

  • කි.ග්‍රෑම්. 64 (ලයිට් වෙල්ටර් වෙයිට්)

විද්‍යාරතන විද්‍යාපීඨයේ එම්. ජයරත්න සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එන්. ජයවීර අතර පැවති තරගය ජය ගන්නට ජයරත්න සමත් විය.

එම බරපන්තියේ මීළඟ අවසන් පූර්ව තරගය ජය ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජයේ සී. නිලංග සමත් වූයේ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ බී. සමරකෝන් පරාජය කරමිනි.

  • කි.ග්‍රෑම්. 69 (වෙල්ටර් වෙයිට්)

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ජී. මධුරංග සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එන්. සමරනායක අතර තරගය ජය ගන්නට සමරනායක සමත් විය.

එහි අනෙක් අවසන් පූර්ව තරගය ජය ගත්තේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ බී. ගමගේ පරාජය කළ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එම්. ඒකනායක විසිනි.

  • කි.ග්‍රෑම්. 75 (මිඩ්ල් වෙයිට්)

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ කේ. ජයසිංහ සහ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ එස්. කුමාර අතර පැවති තරගය ජය ගන්නට කුමාර සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ බී. හේරත් සහ එම ක්‍රීඩා සමාජයේම එස්. රූපසිංහ අතර තරගය ජය ගන්නට රූපසිංහ සමත් වූයේ බලැති පහරවල් කිහිපයක් සමඟිනි.

  • කි.ග්‍රෑම්. 81 (ලයිට් හෙවි වෙයිට්)

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ පී. දේශප්‍රිය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ඩී. රන්තිලක අතර තරගය ජය ගන්නට දේශප්‍රිය සමත් විය.

අනෙක් අවසන් පූර්ව තරගයේ ජය ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එම්. සිල්වා විසින් ලබාගත්තේ පොලිස් ක්‍රීඩා සමාජයේ ඩී, බණ්ඩාර ව පරාජය කරමිනි.

  • කි.ග්‍රෑම්. 91 (හෙවි වෙයිට්)

පේරාදෙණිය බොක්සිං සමාජයේ ටී. සන්තුර්ෂන් සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ සී. තිලකරත්න අතර තරගය ජය ගන්නට තිලකරත්න සමත් විය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එස්. තිලකරත්න සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එස්. සූරියපද්ම අතර තරගය ජය ගන්නට තිලකරත්න සමත් වීමත් සමඟ හෙට අවසන් මහා තරගය සඳහා තිලකරත්නයන් දෙදෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතයි.

  • කි.ග්‍රෑම්. 91+ (සුපර් හෙවි වෙයිට්)

පොලිස් ක්‍රීඩා සමාජයේ සී. ස්නෝබැලන්සන් සහ රාජකීය විද්‍යාලයීය බොක්සිං සමාජයේ ඒ. සින්දුජන් අතර තරගය ජය ගත්තේ පොලිස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයා විසිනි.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් දෙදෙනෙකු අතර මීළඟ අවසන් පූර්ව තරගය පැවැත්විය. එහි දී පී. අබේගුණවර්ධන පරාජය කරමින් ජය ලබා ගත්තේ එම්. අබේසිංහ යි.

හෙට (02) දිනය තුළ පැවැත්වෙන්නේ අවසන් මහා තරග ය. එහි දී ජය ලබන ක්‍රීඩකයන් සහ දක්ෂතම ක්‍රීඩකයන් ගැන දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com වෙබ් අඩවිය සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<