ශකීබ්ගේ වාසනාවන්ත පිත්තට ඉහළ මිලක්

84

තරග පාවාදීමේ උත්සාහයක් පිළිබඳ ලැබුණු තොරතුරක් පදනම් කරගනිමින් කරුණු ඉදිරිපත් කරන ලෙස හිටපු බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් හට පසුගිය ඔක්තොම්බර් මාසයේ දී නිර්දේශ කර සිටි නමුත් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ඔහුගෙන් නොලැබුණු නිසාවෙන් ඔහුට අන්තර්ජාතික තරග තහනමක් පැනවීමට ICCය කටයුතු කරන ලදි.

තහනම ඉවත් කරන්න මලික්ගෙන් ආයාචනයක්

පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක සලීම් මලික් තමන්ට ජීවිතාන්තය දක්වා පනවා ඇති ක්‍රිකට්…

ක්‍රිකට් බලධාරීන් ශකීබ්ට එරෙහිව එසේ නැඟී සිටිය දී Covid-19 වසංගතය නිසා පීඩාවට පත්ව සිටින අසරණ ජනතාව වෙනුවෙන් නැඟී සිටීමට ශකීබ් ඉදිරිපත් වී තිබෙන අයුරු පසුගිය දා අන්තර්ජාතික ක්‍රිකට් මාධ්‍ය වාර්තා කිහිපයක්ම පළකොට තිබුණි. 

ඒ අනුව පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ලකුණු 606ක් රැස් කරමින් සුපිරි දක්ෂතා දැක්වීමට උපකාරී වූ තමන්ගේ පිත්ත වෙන්දේසියේ තබමින් අරමුදල් එකරැස් කිරීම සඳහා ඔහු මූලිකත්වය ගෙන කටයුතු කොට තිබුණේ සෙසු ක්‍රීඩකයින්ටත් මෙවැනි සමාජ සේවා කටයුතුවල නියැලෙන ලෙස ආරාධනයක් ද කරමිනි.

අපේක්ෂා කළ පරිදි ඉහළ වටිනාකමට නියම වූ ශකීබ්ගේ පිත්ත ඇ. ඩොලර් 24,000ක මුදලකට අලෙවි වී තිබුණේ නිව් යෝර්ක් හී වාසය කරන බංග්ලාදේශ ජාතික ව්‍යාපාරික අරීෆ් ආර්. හුසේන් මහතා එය මිල දී ගැනීමත් සමඟිනි. ඔහු ද සමාජ මෙහෙවර ක්‍රියාකාරකම් සඳහා වඩාත් ළැදිකමක් දක්වන පුද්ගලයෙකු වන අතර තවද විපතට පත්වූවන් හට පිහිට වීම සඳහා අරමුදල් කිහිපයක්ම ස්ථාපනය කර ඇති බව ද වාර්තා වේ.

ලොව දැනට සිටින තුන් ඉරියව්වෙන්ම සුපිරි දක්ෂතා දක්වන ක්‍රීඩකයින් ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙන ශකීබ්ගේ ක්‍රිකට් දිවියට දැවැන්ත මරු පහරක් එල්ල වූයේ ICCය විසින් ඔහුට එරෙහිව වසර දෙකක කාලසීමාවක් සඳහා පැනවූ වාරණයත් සමඟිනි. කෙසේ නමුත් ඔහුට ලබා දුන් දඬුවම තරමක් ලිහිල් කරමින් එක් වසරක තරග තහනමක් පමණක් පැනවීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

T20 ලෝක කුසලානය ගැන හෑන්ඩ්ස්කොම්බ්ට සුබවාදී බලාපොරොත්තුවක්

කොරෝනා වයිරසය ජාත්‍යන්තර ක්‍රීඩාවට කළ බලපෑම සුළුපටු නැත. ලොව පුරා සියලු ක්‍රීඩා තරග හා…

මෙම වෙන්දේසිය ආරම්භ කිරීමට දින දෙකකට මත්තෙන් ශකීබ්ට අයත් කකුළුවන් වගා කරන ගොවිපළක සේවය කරන සේවකයින් 140දෙනෙකු පමණ එක්ව උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන ගියේ තමන්ට හිමි වැටුප් ගෙවීමට තවත් කල් නොමරන ලෙස ආයතන ප්‍රධානීන් හට බලපෑම් කරමිනි.

Covid-19 වසංගතය පාලනය කිරීම සඳහා මුළු රටම වසා දමා ඇති මොහොතක ජනතාව එක්රැස් වෙමින් එම ක්‍රියාවලියට බාධා කිරීම වැළැක්වීමේ අරමුණින් උද්ඝෝෂකයින්ගේ දැඩි විරෝධය හමුවේ ඔවුන් විසුරුවා හැරීමට එරට පොලීසිය කටයුතු කොට තිබුණි. 

තමන් ප්‍රමුඛතාව සෑමවිටම ලබා දෙනුයේ ක්‍රිකට් ක්‍රීඩාවට නිසාවෙන් එදිනෙදා සිදුවන ව්‍යාපාර කටයුතු සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට තමන් හට කාල වේලාවක් නොමැති බව සඳහන් කර සිටි ශකීබ් පවසා සිටියේ එම කටයුතු කළමනාකරණය කිරීම සඳහා තවත් පිරිසක් ඒ වෙනුවෙන්ම කැප වී සිටින බවයි. 

ඔවුන් තමන්ට මේ සම්බන්ධයෙන් කිසිදු පූර්ව දැනුම් දීමක් සිදුකර නොමැති නමුත් අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගනිමින් අසාධාරණයට ලක්වූ පුද්ගලයින් හට සහන සැලසීමට තමන් මැදිහත් වන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

පොරොන්දු වූ පරිදි ඔහු බදාදා දිනයේ දී සේවක වැටුප් පියවීම සඳහා ටකා මිලියන 1.9ක මුදලක් ලබා දී ඇති බව වාර්තා වේ.

Covid-19 වසංගතය නිසාවෙන් මේ වන විට බංග්ලාදේශය තුල මරණ 127ක් වාර්තා වී ඇති අතර ආසාදිතයන් සංඛ්‍යාව 4200ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියි. ප්‍රමාණවත් පරිදි පරීක්ෂණ පහසුකම් නොමැති වීම මේ වන විට එරට සෞඛ්‍ය බලධාරීන් හට ප්‍රධාන ගැටලුවක් බවට පත් වී ඇති අතර එම නිසාවෙන් වයිරසය ආසාදනය වූවන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ඔවුන් සැක පහළ කර සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<