ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පන්දුවාර 50 තරගමාලාවේ පසුගිය තරගාවලියේ ශූරයන් වූ ශ්‍රී ලංකාව තරගාවලිය ආරම්භ කරමින් සහභාගී වූ පළමු තරගයේ දී ම බංග්ලාදේශ කණ්ඩායම වෙතින් ලකුණු 137ක පරාජයක් ලැබුවේය.

අද (15) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අවසන් වූ මෙම තරගයේ දී බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක නිරත වූ මුෂ්ෆිකර් රහීම් තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණි. මෙය බංග්ලාදේශය කණ්ඩායමක් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක දී ශ්‍රී ලංකාව පරාජය කළ දෙවැනි අවස්ථාවයි.

අකිල දනංජය ආසියානු කුසලානයට සූදානමින්?

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දා…

B කාණ්ඩයේ පළමු තරගය වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස පන්දුවාර 49.3ක දී සියලුම දෙනා දැවී ලකුණු 261ක් ලබා ගත්තේය. ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 124ක් පමණි. ඔවුන් තම ඉනිම නිමා කර ගත්තේ තවත් පන්දු 86ක් ඉතිරි ව තිබිය දී ය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වසරක සංක්‍රාන්ති කාලයක් ගත කරමින් කණ්ඩායමට එක් වූ ලසිත් මාලිංග බංග්ලාදේශ ඉනිමේ ප්‍රධාන ප්‍රතිවාදියා වෙද්දී  මුෂ්ෆිකර් රහීම් ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් බංග්ලාදේශයට සටන්කාමී ලකුණු පුවරුවක් නිර්මාණය කිරීම තරගයේ ප්‍රතිඵලය වෙනස් කිරීමට හේතු විය.

බංග්ලාදේශය කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්ත ද ඔවුන්ගේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැත. බංග්ලාදේශය පළමු පන්දුවාර 10 දී ලබා ගත හැකි වූයේ කඩුලු 2ක් දැවී ලකුණු 24ක් පමණි. කලකට පසු තම මව්බිම වෙනුවෙන් පන්දුවට අතට ගත් ලසිත් මාලිංග තම පළමු පන්දු වාරයේ දී ම බංග්ලාදේශ ආරම්භක කඩුලු 2ක නැවත ක්‍රීඩා විවේකාගාරය වෙත හරවා යැවීමට සමත් විය.

ලිටන් දාස් (00), කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දී ඉනිමේ 5 වැනි පන්දුවේ දී දැවී ගිය අතර ඊට පසුව යැවුණ පන්දුවේ දී සකීබ් අල් හසන් (00) දැවී ගියේ පන්දුව කඩුල්ල ආක්‍රමණය කිරීමෙනි. අනතුරුව දෙවැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී තමීම් ඉක්බාල් පිටියෙන් ඉවත් වූයේ ආබාධිත තත්ත්වයක් හේතුවෙනි. ඒ වෙද්දී බංග්ලාදේශ ඉනිම කියැවුණේ ලකුණු 3ක් ලෙසිනි.

නැවුම් බලාපොරොත්තු සමඟින් ශ්‍රී ලංකාව මංගල තරගයට

14 වන වතාවටත් පැවැත්වෙන “ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය” හෙට (15) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වෙනවා. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඩුබායි ක්‍රිකට්…

ඉතා අසරණ තත්ත්වයේ සිටි බංග්ලාදේශ ඉනිම ගොඩ ගත්තේ මුෂ්ෆිකර් රහීම් සහ මොහොමඩ් මිතුන් ය. ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 131ක සබඳතාවක් ගොඩ නැගූහ. බංග්ලාදේශ ඉනිම ලකුණු 134ක් වෙද්දී නැවත මාලිංග ක්‍රියාත්මක වෙමින් මිතුන් පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. ඒ කඩුල්ල පිටුපස සිටිමින් කුසල් පෙරේරා ලබා ගත් උඩ පන්දුව ආධාරයෙනි.

ඒ වෙද්දී මිතුන් පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 63ක් ලබා සිටියේය. ඔහු අද රැස් කළේ තම එක්දින තරග පිටියේ මංගල අර්ධ ශතකයයි.

අනතුරුව යැවුණ පන්දුවාරයේ දී මහමුදුල්ලා රියාද් (01) දවා ගැනීමට අමිල අපෝන්සු සමත් විය. බංග්ලාදේශ 5 වැනි කඩුල්ල ලකුණු 142 දී අහිමි කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. ඒ මොසදැක් හුසේන් (01) ගේ දැවී යෑමත් සමඟිනි. මොසදැක්ගේ කඩුල්ලේ හිමිකාරිත්වය ද මාලිංග සතු විය.

මුෂ්ෆිකර් පසුපෙළ පිතිකරුවෝ එකිනෙකා හැකි පමණින් දායක කර ගනිමින් බංග්ලාදේශ ඉනිම ගොඩ නැගුවේ ය. ඔහු අවසන් කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වෙන විට පන්දු 150කට මුහුණ දී හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 144ක් වාර්තා කළේය.

වෙළඳසේවා තරග පිටියේ ශතක වැසි වසී

26 වැනි වරටත් පැවැත්වෙන සිංගර් කුසලාන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය…

එම ඉනිම මුෂ්ෆිකර්ගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ ලබාගත් ශතක 6 අතුරින් හොඳම ඉනිම විය. ඊට ප්‍රථම ඔහුගේ ඉහළම දක්ෂතාව වී තිබුණේ ඉන්දියාවට එරෙහිව 2014 වසරේ දී ෆටුල්ලා හි දී ලබා ගත් ලකුණු 117යි. මුෂ්ෆිකර් අද ඉනිම ආසියානු කුසලාන තරගාවලියේ පිතිකරුවෙක් විසින් රැස් කරන ලද හොඳම ඉනිම් හී තෙවැනි තැන ගත්තේය. පාකිස්තානයේ යුසුෆ් යොහානා (144) දෙවැනි තැනේත්, විරාත් කෝලි (183) පළමු තැනේත් රැඳී සිටී.

ආබාධිත තත්ත්වයක් හේතුවෙන් තරගය ආරම්භයෙන් පසුව පිටියෙන් ඉවත් වූ තමීම් ඉක්බාල් අවසන් පිතිකරු ලෙසින් පිටියට පිවිස ඉනිම අවසන් වෙන විට නොදැවී සිටියේ ය.

පන්දු යැවීමෙ දී ලසිත් මාලිංග තම පන්දුවාර 10 ලකුණු 23කට යැවුවේ කඩුලු 4ක් ද දවා ගනිමිනි. එම පන්දුවාර 10 තුළ කිසිදු ලකුණක් නොදුන් පන්දුවාර 2ක් ද විය. මාලිංග ලබා ගත් මෙම කඩුලු 4ත් සමඟින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගමාලාවේ වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයන් අතුරින් දෙවැනි තැන ගන්නට සමත් විය. මුත්තයියා මුරලිදරන් කඩුලු 30ක් ලබා ගනිමින් පළමු ස්ථානයේ රැඳී සිටින අතර මාලිංග දැනට ලබා ඇති කඩුලු සංඛ්‍යාව 28කි.

මාලිංගට අමතරව ධනංජය ද සිල්වා කඩුලු 2ක් ද, සුරංග ලක්මාල්, අමිල අපොන්සු සහ තිසර පෙරේරා කඩුල්ල බැගින් ද දවා ගත්හ.

හඹා යන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල දෙවැනි පන්දු වාරයේ දී නිමා කිරීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ. අද තම 50 වැනි ජාත්‍යන්තර එක්දින තරගයට සහභාගී වූ කුසල් මෙන්ඩිස් තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දී ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවී යෑම ශ්‍රී ලංකා ඉනිමේ ද බලාපොරොත්තු බිඳ වැටීමක් විය. ඒ වෙද්දී ඉනිමේ දෙවැනි පන්දුවාරය අවසන් වූ අතර ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 22ක් විය.

මෙන්ඩිස්ගේ දැවී යෑමෙන් පසු යැවුණ පන්දුවාරයේ අවසන් පන්දුවේ දී උපුල් තරංග ද දැවී ගියේය. ඒ වෙද්දී තරංග පන්දු 16කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා සිටි අතර ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 28ක් ලෙසිනි.

ධනංජය ද සිල්වා (00) ට ද අද තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැදගත් යමක් කිරීමට අවස්ථාවක් උදා නොවුණි. ඔහු තමන් මුහුණ දුන් තෙවැනි පන්දුවේ දී කඩුල්ල අහිමි කර ගත්තේය. ප්‍රවේගකාරී ඉනිමක නිරත වෙතැයි සිතූ කුසල් පෙරේරා ද අද පන්දු 24කට රැස් කළේ ලකුණු 11ක් පමණි. එම ඉනිමට හතරේ පහර 2ක් ඇතුලත් විය.

මෙසේ නායගිය ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දුවාර 10 අවසන් වූයේ ලකුණු 42කට කඩුලු 4ක් ලෙසිනි.

අනතුරුව පැවති 5 වැනි කඩුල්ලට ලකුණු 22ක සබඳතාවක් එක් කිරීමට නායක ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක සමත් වූහ. දසුන් (07) දුවද්දී දැවී යෑමකට හසුවෙමින් තම ඉනිම නිමා කර ගනිද්දී, ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5කට 60ක් විය. මැතිව්ස් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 16කි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 34කට මුහුණ දුන් අතර සීමා ලකුණු කිසිවක් ඇතුලත් කිරීමට සමත් වූයේ නැත.

තිසර පෙරේරාට ද අද ලබා ගත හැකි වූයේ ලකුණු 6ක් පමණි. පිතිකරුවන් අසරණ වෙද්දී පන්දු යවන්නෙක් ලෙසින් කණ්ඩායමට එක් වූ සුරංග ලක්මාල් පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව යම් තරමකින් ඔසවා තැබීමට සමත් විය.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසින් කණ්ඩායමට එක් වූ ඩිල්රුවන් පෙරේරා තමන් කෙරෙහි තැබූ විශ්වාසය යම් තරමකින් සඵත කරමින් පන්දු 44කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තේය. එය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළ ම දක්ෂතාව විය.

අවසන් අදියරේ පිතිකරුවන් වූ අමිල අපොන්සු ලකුණු 4ක් ලබා ගත් අතර ලසිත් මාලිංග නොදැවී ලකුණු 3ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී මෂ්රෆි මොර්ටාෂා, මුෂ්ෆිකර් රහීම් සහ මෙහෙදි හසන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකාව සහභාගී වෙන දෙවැනි තරගය ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ මේ මස 17 වැනිදා අබුඩාබි නගරයේ දී පැවැත්වීමට නියමිත ය.

බංග්ලාදේශය; සියලුම දෙනා දැවී 261 (49.3) මුෂ්ෆිකර් රහීම් 144, මොහොමඩ් මිතුන් 63, ලසිත් මාලිංග 4/23, ධනංජය ද සිල්වා 2/38

ශ්‍රී ලංකාව; සියලුම දෙනා දැවී 124 (35.2) උපුල් තරංග 27, ඩිල්රුවන් පෙරේරා 29, සුරංග ලක්මාල් 20, මෂ්රෆි මොර්ටාෂා 2/25,  මුෂ්ෆිකර් රහීම් 20/2, මෙහෙදි හසන් 21/2

තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් පැවැත්වෙන පළමු තරගය හෙට (16) හොංකොං කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ උණුසුම් පුවත් සමගින් යාවත්කාලීන වීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<