මෙන්ඩිස්, දික්වැල්ල සහ ගුණතිලකගේ තහනම ඉවතට

1267

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (7) තීරණය කර තිබෙනවා.

එංගලන්ත සංචාරය අතරතුර ජෛව ආරක්ෂක බුබුළෙන් පිටතට ගොස් රාත්‍රි කාලයේ Durham හි වීදියක සිටින වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එම සිදුවීම පිළිබඳව විමර්ශනයක් ඇරඹුවා.

එය අවසානයේ දී මෙම ක්‍රීඩකයින්ට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට අමතරව රුපියල් මිලියන 10 බැගින් වූ දඩයක් ද නියම කළා.

එමෙන්ම එම තරග තහනමට අමතරව දේශීය තරග සඳහා ද මාස හයක තහනමක් පැන වුනා. කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයින් තිදෙනාටම පසුගිය දා නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුමැතිය ලබා දුන්නා.

ඔවුන් තිදෙනාට පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම ඉවත් කිරීමත් සමඟම එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරයේ සිට ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට තේරීම් කමිටුවට අවස්ථාව හිමි වෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරග තුනකින් සමන්විත තරගාවලිය 2023 ලෝක කුසලාන සුපර් ලීගයේ (2020–2023 ICC Cricket World Cup Super League) කොටසක් ලෙස පැවැත්වෙන අතර තරග සියල්ල දිවා/රාත්‍රි තරග ලෙස පැවැත්වීමට නියමිතයි.

එම තරගාවලිය අවසන් වූ වහාම ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරග 5කින් සමන්විත තරගාවලියක් සඳහා පෙබරවාරි මුල් සතියේ දී ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම තරගාවලිය පෙබරවාරි 11 සිට 20 දක්වා පැවැත්වෙනවා.

ඉන්පසුව පෙබරවාරි මාසය අවසානයේ දී ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් තරග දෙකක් සහ විස්සයි විස්ස තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව බලා යාමට ද සූදානමින් සිටිනවා.

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජනවාරි 16
  • දෙවැනි එක්දින තරගය – ජනවාරි 18
  • තෙවැනි එක්දින තරගය – ජනවාරි 21

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<