හිතේ නිදහසත් අහිමි කරමින් තවත් තරගාවලි පරාජයක් ශ්‍රී ලංකාවට!

530

සකල ලෝකවාසී ශ්‍රී ලාංකිකයන් අද තම 71ක් වැනි අභිමානවත් නිදහස සමරන දිනයයි. කෙසේ වෙතත් ඔවුන්ට අද (04) උදෑසනම ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවරින් අසන්නට ලැබුණේ හිතේ නිදහසත් නැති කරන පුවතකි. ඒ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ද ශ්‍රී ලංකාවට ලැජ්ජා සහගත පරාජයක් අත්වී ඇති බවයි.

සැබැවින්ම තරගය අතරතුරේ දී පළකෙරුණු කිසිදු ධනාත්මක සලකුණක් හෝ නොමැතිව ශ්‍රී ලංකා පිළ අද ලකුණු 366ක පරාජයක් වැළඳ ගත්තේ ඔවුන් පිත්තෙන්, පන්දුවෙන්, පන්දු රැකීමෙන් පමණක් නොව ශාරීරික යෝග්‍යතාවයෙන් ද අසමත් බව පෙන්නුම් කරමිනි.

කවාජාගේ ශතකය ඔස්සේ ශ්‍රී ලංකාවට ලකුණු 516ක ඉලක්කයක්!

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (03) නිමාවට පත්වූයේ සංචාරක ශ්‍රී ලංකා පිළ කබලෙන් ලිපට ඇද දමමිනි. ඕස්ට්‍රේලියානුවන්……

මීට දින 4කට පෙර ශ්‍රී ලංකා පිළ මෙම තරගයට පිවිසුණේ කරදර බාධක රැසක් අභිමුව තබාගෙනයි. දෙරට අතර පළමු ටෙස්ට් තරගය අතරතුරේ දී කණ්ඩායමට යම් පිළිසරණක් හෝ ගෙන දුන් සුරංග ලක්මාල් ප්‍රමුඛ වේග පන්දු යවන්නන් තිදෙනාම ආබාධවලට ලක්වීම ඒ අතුරින් ප්‍රධාන විය. ඒ නිසාවෙන් ඔවුන් කැන්බරා පිටියට පිවිසියේ නවක වේගපන්දු යවන්නන් තිදෙනෙකු පිරිවරාගෙනයි. ඒ අතර සිටි චාමික කරුණාරත්න මුහුණ දුන් මංගල ටෙස්ට් තරගය ද මෙය විය. මුල් දිනයේ පළමු පැය තුළ පමණක් තරගයේ ග්‍රහණය ශ්‍රී ලංකාව අත තිබූ අතර ඕස්ට්‍රේලියානු මුල් පෙළ කඩුලු 3ක් ලකුණු 28ක් තුල බිඳ වැටීම ඊට හේතුව විය. කෙසේ නමුත් ඉන් අනතුරුව ජෝ බර්න්ස් සහ ට්‍රැවිස් හෙඩ් අතරේ ගොඩ නැගුණු ත්‍රිත්ව ශතක සබඳතාවය නිසා තරගය ගැන බලාපොරොත්තු අත්හැර ගන්නට ශ්‍රී ලංකාවට සිදු විය.

එහි දී තම සිව්වැනි ටෙස්ට් ශතකය ලෙස ජෝ බර්න්ස් ලකුණු 180ක් රැස්කළ අතර ට්‍රැවිස් හෙඩ් ලකුණු 161ක් සහ කර්ටිස් පැටර්සන් ලකුණු 114ක් නොදැවී ලබා ගත්තේ ඔවුන්ගේ මංගල ටෙස්ට් ශතක වාර්තා කරමිනි. මෙම සියලුම ක්‍රීඩකයින් අඩු ලකුණු ගණනක් ලබා සිටිය දී ශ්‍රී ලංකා පන්දු රකින්නන්ට උඩ පන්දු සහ දුවද්දී දවා ගැනීමේ අවස්ථා ලබා දුන්න ද ක්‍රීඩකයින් ඒ සියල්ල මඟ හැරියේ ඔවුන්ගේ කර මත මිලියන විස්සක ජනතාවගේ ජය පිපාසය රැඳී ඇති බව අමතක කර දමමිනි. මෙම ශතක තුනේ ආධාරයෙන් ඕස්ට්‍රේලියානු මුල් ඉනිම ලකුණු 534ක් දක්වා ඉහළ නැගෙන ලදි.

ප්‍රවේගකාරී ද්විත්ව ශතකයක් සමඟින් භානුක රාජපක්ෂ දේශීය පිටිය කළඹයි!

තමාට ජාතික කණ්ඩායමේ දොරගුළු නොඇරෙන්නේ නම් දොර කඩාගෙන හෝ ඇතුළට එන්නට තමන් සූදානම් බව BRC ක්‍රීඩක භානුක රාජපක්ෂ අද…..

පිළිතුරු ඉනිමේ දී ශ්‍රී ලංකාව පිතිකරණයෙන් ද අන්ත අසරණ වූ අතර මුල් ඉනිමේ ඔවුන්ගේ ලකුණු එකතුව 215කි. ඒ අතරතුර ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සහ කුසල් පෙරේරා පන්දුව හිසේ වැදීමෙන් ආබාධවලට ලක්වූ අතර දෙදෙනාම දිනක් ඇතුළත යථා තත්ත්වයට පත් වන්නට සමත් වූහ.

ඒ අතරින් දිමුත් පමණක් මුල් ඉනිමේ අර්ධ ශතකයක් රැස් කර ගත් අතර සෙසු සියලුම පිතිකරුවන් රැස් කළ ලකුණු සංඛ්‍යා වර්තමානයේ විස්සයි විස්ස තරගයකට ද ප්‍රමාණවත් පෞද්ගලික ලකුණු සංඛ්‍යා නොවේ. විශේෂඥ පිතිකරුවන් ලෙස හඳුන්වමින් කණ්ඩායමට ක්‍රීඩකයින් ඇතුළත් කරන්නේ ලකුණු 20ක් 30ක් ලබා ගැනීමට ද යන්න ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට මේ වන විට දැඩි ලෙස පැන නැගී ඇති ප්‍රශ්නයකි!

දණින් ඇද වැටී සිටි ශ්‍රී ලංකාවට තව තවත් පහර දුන් කැන්ගරුවෝ දෙවැනි ඉනිමට ඉක්මන් ලකුණු 196ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට ලකුණු 516ක දැවැන්ත ඉලක්කයක් ලබා දුන්හ. ඒ අතරතුර උස්මාන් කවාජා ලකුණු අතරට පිවිසෙමින් ශතකයක් වාර්තා කළේ තැලෙන යකඩයට උඩ පනිමින් පහර එල්ල කරමිනි. ඇත්තෙන්ම ලකුණු 516ක අවසන් ඉලක්කයක් ප්‍රතිවාදීන්ගෙන් හිමි වුවත් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අදක්ෂතාවය නිසා ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව හෝ පසුකර යන්නට ඔවුන්ට ඉනිම දෙකම යොදාගෙන හෝ හැකි නොවීය.

Photo Album : Sri Lanka Vs Australia 2nd Test – Day 4

අද දහවල් සියලුම පිතිකරුවන් දැවී ඔවුන් රැස්කර ගත්තේ ලකුණු 149ක් පමණි. මෙම තරගාවලිය පුරාවට අසාර්ථක වූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ඉදිරියෙන් සිට තම කණ්ඩායමට ආදර්ශයක්, සවියක් වනු වෙනුවට හැකිතාක් පිටුපසට යමින් සංචාරය පුරාවටම රැස්කර ගත්තේ ලකුණු 24ක් පමණි. මෙහි දී නම් වශයෙන් සඳහන් නොකළ ද කණ්ඩායමේ සෙසු පිතිකරුවන්ගේ කැරැට්ටුව ද මීට නොදෙවෙනි විය. ලෙදර් පන්දුවට හුරු වී වසර ගණනාවක් ගත වුවද තවමත් පන්දුව තමන් වෙත එද්දී දෙගිඩියාවෙන් යුතුව ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිතිකරුවන්ව පහසුවෙන් දඩයම් කළ මිචෙල් ස්ටාර්ක්ට අද තරගයේ වීරයා සම්මානය හිමි විය. ඒ ප්‍රථම ඉනිමේ සහ දෙවැනි ඉනිමේ කඩුලු 5 බැගින් කඩුලු 10ක් ඔහු බිඳ දැමූ බැවිනි.

පිතිකරණ පාරාදීසයක දී නිශාන්ගෙන් කඩුලු 14ක්!

27 හැවිරිදි ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ රැස්කළ ද්විත්ව ශතකය නිසා පළඟ ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන තුන්දින තරගාවලියේ ප්‍රථම පූර්ණ……

ඒ අනුව ඉතිහාසයේ දුර්වලම ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෙස විචාරකයින් හැඳින්වූ නවක මුහුණු රැසක් පිරිවරා ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියේ ද ශ්‍රී ලංකාවට අත්වූයේ ලැජ්ජා සහගත පරාජයකි. කෙසේ නමුත් ශ්‍රී ලංකා පිළ දිගින් දිගටම ලබන පරාජයන්වලට හේතුව අත්දැකීම්වල අඩුකමක් නොවන බව මෙම තරග සංචාරයෙන් ඔප්පු වීම කණ්ඩායම ලැබූ එකම යහපත් ප්‍රතිඵලය ලෙස හැඳින්විය හැකිය. දීර්ඝ කාලයක සිට ගන්නා ලද අසාර්ථක තීන්දු තීරණත්, මේ දක්වා තරගකාරී දේශීය තරගාවලියක් සංවිධානය කිරීමකින් තොරව 80, 90 දශකයට ගැලපෙන ඇල් මැරුණු තරගාවලි පවත්වමින් මේ යන ගමනේ දියුණුවක් නම් අපේක්ෂා කළ නොහැකි වනු ඇත.

මෙම ලැජ්ජා සහගත පරාජයෙන් පසුවද බලධාරීන් කණ්ඩායමට නොයෙකුත් පැලැස්තර විසඳුම් යොදනු ඇති වුවද, එකොළොස් දෙනෙකු මේ තරග වදින්නේ ලෝක කුසලාන දෙකක් දිනාගත් අභිමානවත් ක්‍රිකට් ජාතියක ගෞරවය වෙනුවෙන් බව ඒ කිසිවෙකුත් තේරුම් නොගැනීම කනගාටුවට කරුණක් බවට පත්වී ඇත.

තරගාවලියේ වීරයා: පැට් කමින්ස්

ඕස්ට්‍රේලියානු (ප්‍රථම ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 534 (පන්දුවාර 132)

ජෝ බර්න්ස් 180, ට්‍රැවිස් හෙඩ් 161, කර්ටිස් පැටර්සන් 114*, ටිම් පේන් 45*, මාර්කස් හැරිස් 11, මාර්නස් ල’බුශේන් 6, විශ්ව ප්‍රනාන්දු 3/126, චාමික කරුණාරත්න 1/130, කසුන් රාජිත 1/103.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 215 (පන්දුවාර 68.3)

දිමුත් කරුණාරත්න 59, ලහිරු තිරිමාන්න 41, දිනේෂ් චන්දිමාල් 15, කුසල් පෙරේරා 29*, ධනංජය ද සිල්වා 25, නිරෝෂන් දික්වැල්ල 25, පැට් කමින්ස් 1/32, මිචෙල් ස්ටාර්ක් 5/54, නේතන් ලයන් 2/70.

ඕස්ට්‍රේලියානු (දෙවැනි ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 196 (පන්දුවාර 47)

උස්මාන් කවාජා 101*, ට්‍රැවිස් හෙඩ් 59*, මාර්කස් හැරිස් 14, ජෝ බර්න්ස් 9, කසුන් රාජිත 2/64, විශ්ව ප්‍රනාන්දු 1/43.

ශ්‍රී ලංකා (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 149 (පන්දුවාර 51)

කුසල් මෙන්ඩිස් 42, ලහිරු තිරිමාන්න 30, නිරෝෂන් දික්වැල්ල 27, චාමික කරුණාරත්න 22, මිචෙල් ස්ටාර්ක් 5/46, පැට් කමින්ස් 3/15, මාර්කස් ල’බුශාන් 1/6.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<