දඹුල්ලේ බර දරාගෙන ගම්පොළට ආ “පොඩි තරුෂි”

98
දඹුල්ලේ බර දරාගෙන ගම්පොළට ආ “පොඩි තරුෂි”

පසුගියදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී නිමා වූ සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී කාගේත් කතා බහට ලක් වූ චරිතයක් බවට පත් විමට තවමත් 16 වැනි වියේ පසුවෙන ගම්පොළ වික්‍රමභාහු ජාතික පාසලේ තරුෂි අභිශේකා සමත් වුනා. ඇය එම තරගාවලියේ දී වයස අවුරුදු 18න් පහළ මීටර් 800, 1500 සහ 3000 ඉසව් ත්‍රිත්වයට සහභාගී වන අතර ඒ සෑම ඉසව්වකින් ම නව තරග වාර්තා පිහිටුවමින් නිමා කිරීමට සමත් වෙනවා.

තරුෂි පිහිටුවනු ලැබූ මේ වාර්තාවන් අතර වසර 39ක් පැරණි වයස අවුරුදු 20න් පහළ ශ්‍රී ලංකා යොවුන් වාර්තාවක් ද වෙනවා. ඒ මීටර් 1500 ඉසව්ව වෙනුවෙන්.

1985 වසරේ දී ධම්මිකා මැණිකේ විසින් එම ඉසව්ව විනාඩි 4.35:7කින් නිමා කරමින් දශක 4ක් තිස්සේ සතු කරගෙන සිටි වාර්තාව තරුෂි විසින් සතු කර ගන්නේ විනාඩි 4.29.97කින් නිමා කරමිනුයි.

“ඇය විසින් බිඳ හෙළන්නේ ශ්‍රී ලංකාවේ ඉපැරණි ම වාර්තාවක්. තරුෂි මේ වයස් කාණ්ඩයට එක් වූ පළමු අවුරුද්දේ ම මේ තරමින් දුවනවා කියන්නේ ඇය ඉතා හොඳ මට්ටමක ඉන්නවා කියන එකට සහතිකයක්. ඒ වගේ ම ඇය පෑ මේ දක්ෂතාත් සමඟින් ඇය ශ්‍රී ලංකාවේ අති දක්ෂ ක්‍රීඩිකාවන්ගේ නාමාවලියටත් එකතු වෙනවා. ඒක ඇයට වගේ ම අපටත් ආඩම්බරයක්. ඒ ආඩම්බරයත් සමඟින් ඇය ජාත්‍යන්තර ජයගන්න ක්‍රීඩිකාවක් බවට පත් කරල, අවසානයේ ඔලිම්පික් දක්වා ගෙන යෑමටයි අපගේ බලාපොරොත්තුව.” තරුෂි අභිශේකා ගේ පුහුණුකරු බුද්දික නුවන් මධුශංක මහතා ThePapare.com සමඟ පැවැසුවා.

තරුෂි එම ඉසව්වේ දී තවත් වාර්තා ද්විත්වයක් ද අභිබවා යෑමට සමත් වූ බවයි බුද්ධික පැවැසුවේ.

“2008 වසරේ දී රත්නපුර සුමන බාලිකාවේ ජයමිණි විසින් තබා තිබූ වයස අවුරුදු 18න් පහළ වාර්තාව වගේ ම 2020 වසරේ දී ශානිකා ලක්ෂානි විසින් තබා තිබූ ජාතික කනිෂ්ට වාර්තාවත් මේ සමඟින් ඇය අභිබවා යනවා.”

 එම ඉසව්වට අමතර ව මීටර් 3000 සහ 800 ඉසව්වන් ද වාර්තා සහගත අවසානයකින් පසුව රන් පදක්කම් දිනා ගැනීමට තරුෂි සමත් වෙනවා.

“තරුෂි මීටර් 3000 ඉසව්වට පළමු වරට එකතු වෙන්නේ මෙම තරගාවලියේ දී. නමුත් ඇය එහි දී ද ඉතා හොඳ නිමාවක් ලබා දෙමින් පසුගිය වසරේ දී මගේ ම ක්‍රීඩිකාවක් වූ හිමංසි දුලංජනා තබා තිබූ වාර්තාව වගේ ම මීටර් 800 ඉසව්වේ දී 2022 වසරේ දී මගේ ම ක්‍රීඩිකාවක් වූ කසුනි නිර්මාලි තබා තිබූ වාර්තාව ද අලුත් කරනවා.”

මේ දක්ෂතාත් සමඟින් ඇය මෙවර මීටර් 1500 ඉසව්වේ සමස්ත ලංකා දක්ෂතම ක්‍රීඩිකාව බවට ද පත් වෙනවා.

Athlete Tharushi Abhisheka

තරුෂි සිය පුහුණුකරු බුද්ධික සහ තම ආදරණීයයන් සමඟ…

මේ ලෙසින් දක්ෂතා දැක් වූ තරුෂි අභිශේකා හෙවත් පොඩි තරුෂි ගේ ගම මාතලේ දිස්ත්‍රික්කය මායිමේ පිහිටි නිලගම කියන බොහොම දුෂ්කර ගම්මානයක්. බැලූ බැලු අත පෙනෙන්නෙ අහස දිහා බලාගෙන ඉන්න කඳු පංති. පරිසරවේදියෙක්ට රස විඳිය හැකි හරි අපූරු ගම්මානයක්. නමුත් තරුෂිලා ගෙ ජීවිතවලට ඒ අපූරු බව නම් කවදාවත් ම දැනීල තිබුණෙ නැහැ. ඒකට තරුෂිලාගේ නිවසේ පැවැති ආර්ථික තත්තවය ප්‍රබල හේතුවක් වුනා.

තරුෂිගේ තාත්තා සමන් කුමාර, රැකියාවක් ලෙසින් කරන්නේ අවන්හලක සේවකයෙක් ලෙසින් වැඩ කටයුතු කිරීමයි. මේ රැකියාව පොඩි උන් තිදෙනෙක් ගේ අවශ්‍යතා වෙනුවෙන් කිසිසේත් ම ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ නිසා ම අවන්හලේ සේවයෙන් අනතුරු ව ලැබෙන විවේකයේ දී වෙනත් සුළු රැකියාවල ද නිරත වීමට ඔහුට සිදු වුණා.

මේ තත්ත්වය තවත් දරුණු වෙන්නේ තරුෂි ගේ නිවුන් සහෝදරයා වන තරුෂ අභිලාශ් ගේ දීර්ඝ කාලීන අසනීපයක් හේතුවෙන් ඊට ද වියදම් දැරීමට සිදු වීමයි. ඒ වගේ ම තරුෂි ගේ නැගණිය වන තරුකි ශෙනායා ගේ අවශ්‍යතා ද ඒ අතර වෙනවා.

මේ සියලු දේ පාලනය කරමින් තරුෂි ගේ කුටුම්භය නඩත්තු කටයුතු කිරීමේ වගකීම් පැවැරී තිබුණේ මව වූ නිලානි ප්‍රීතිකා වෙතයි.

“ගෙදර කොතරම් අඩු-පාඩු තිබුණත් අම්මත් තාත්තත් මගේ ක්‍රීඩාව පසු පසින් ම ඉන්නවා. ඔවුන් හැකි සෑම අයුරකින් ම මගේ ක්‍රීඩා කටයුතුවලට වගේ ම අධ්‍යාපනය කටයුතු වෙනුවෙන් මහන්සි වෙනවා. අපි ගෙදර කටයුතු බලාගන්නම් ඔයා දුවන කටයුතු හොඳින් කරගෙන යන්න කියන එක තමයි නිතර ම කියන්නේ. ඒ වගේ ම බුද්ධික නුවන් සර් ගෙදරට බරක් නොවෙන විදිහට අවශ්‍ය සෑම දෙයක් ම ලබා දෙන්න ගොඩාක් මහන්සි වෙනවා. සර් කියන්නෙත් ඔයාල දීපු සැලසුම් අනුව යන්න එතකොට අනෙක් දේවල් ඉබේට ම ලැබෙයි කියලයි.” තරුෂි පවසනවා.

තරුෂිගේ මලල ක්‍රීඩා ජීවිතයට මුලින් ම කමටහන් දෙන්නේ මුදිතා ගුණරත්න මහත්මිය. ගමේ දී ඇය යටතේ හැඳී වැඩෙන තරුෂිට එතැනින් එහාට තවත් ගමනක් තියෙනවා කියල පළමුවෙන් ම හිතෙන්නේ ඇයට. නමුත් ඇයට තරුෂිත් එක්ක ඒ ගමන යන්න තරම් අවශ්‍ය පහසුකම් වගේ ම ආර්ථික ශක්තියක් තිබුණේ නැහැ. කොතරම් දක්ෂතා තිබුණත් සමහර තැන්වල දි ඒ කාරණාවන් නිසා ම තරුෂි ගේ ගමන නතර වෙනවා.

“ඇය තරුෂි ව මට ගෙනත් දෙන්නේ පසුගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ දි විතර. ඒ වෙද්දී මම යටතේ පුහුණුව ලැබූ ළමයි කිහිප දෙනෙක් ම ආසියානු කනිෂ්ඨ සහ යොවුන් මට්ටමේ දිව්වා. ඒ විශ්වාසයත් සමඟ තමයි තරුෂි ගේ මුල් ම පුහුණුකාරිනිය තරුෂිව මගේ යටතේ පුහුණුවීම්වලට එවන්නෙ. කොහොම නමුත් ඒ වෙද්දී තරුෂි ට ලංකාවේ සුප්‍රසිද්ධ පාසල් කිහිපයකින් ම ආරාධනා ලැබිලා තිබුණා ඔවුන් සමඟ එකතු වෙන්න. නමුත් ඒ තැන්වලින් තරුෂිට සාධාරණයක් වෙයි කියන හැඟීම ඔවුන්ට දැනිල තිබුණේ නැහැ. තරුෂිගේ ආරම්භක පුහුණුකාරිනිය වගේ ම දෙමාපියන් ද විශ්වාස කළේ මාව. ඒ අනුවයි ඇය වික්‍රමබාහු එකට එන්නේ.“ තරුෂි ගේ පුහුණුකරු බුද්ධික නුවන් මහතා පැවැසුවා.

ගමෙන්, ගම්පොළට ආ තරුෂි වඩාත් කැපවීමෙන් සහ උනන්දුවෙන් පුහුණුවීම්වල යෙදෙනවා. ඇයට අවශ්‍ය වුණේ දුක ම ජීවිතය කර ගත් අම්මටත් තාත්තටත් තමන්ගේ දක්ෂතා මතින් හෝ සතුටක් ගෙන දෙන්න. ඒ වගේ ම ගමේ දුවද්දි අයියගෙනුත් නංගිගෙනුත් ලැබුණ අත්පොලසන්වලට කෘතවේදී දක්ෂතාවන් ප්‍රදානය කරන්න.

ඒ ගමනත් එච්චර ම පහසුවක් වුණේ නැහැ. ගම්පොළ ආ තරුෂිට නතර වෙන්න ලැබෙන්නේ වික්‍රමබාහුවේ මලල ක්‍රීඩා සංචිතය ම එක් ව සිටින චමරියක. ඒ කුඩා චමරිය උයා-පිහාගෙන, රෙදි-පෙරදි හෝඳ පවිත්‍ර කරගෙන, කොටින් ම කියනව නම් තම තමන්ගේ වැඩ තමන් ම කරගෙන ඉන්න උගන්වන අපූරු තැනක්.

මුලින් මුලින් ටිකක් අපහසු වුණත්, ගමේ දී කාපු කට්ටත් එක්ක තරුෂිට ඒක ඒ තරම් අමුතු අත්දැකීමක් වුනේ නැහැ. ඇය එම කටයුතුත් සමඟින් පුහුණු කටයුතුත් මනාව කරගෙන යනවා.

ඒ අනුව ගම්පොළ ජීවිතයේ ඇයගේ පළමු තරගය වෙන්නේ 2023 වසරේ පැවැති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියයි. එහි දී ඇය මීටර් 800 ඉසව්ව විනාඩි 2.21:0කින් දුවමින් එහි රන් පදක්කම දිනා ගන්නවා.

“ඒ ලැබූ පන්නරයත් එක්ක ම තරුෂි තව තවත් උනන්දුවෙන් උවමනාවෙන් පුහුණුවීම්වල නිරත වුනා. ඇයට අවශ්‍ය වුණේ වලල එස්. රත්නායක විද්‍යාලයේ තරුෂි කරුණාරත්න ගේ ටයිමින්වලට දුවන්න. ඇය ඒ දේ ඊළඟ මීට් එකේ දි කරනවා. ඒ ශ්‍රීමත් ජෝන් ටාබට් ක්‍රීඩා උළෙලේ දී තරුෂි කරුණාරත්න විනාඩි 2.17කින් නිමා කර තිබූ වයස අවුරුදු 16න් පහළ මීටර් 800 වාර්තාව විනාඩි 2.14කින් නිමා කරමිනුයි. ඊට පසුව නැවත තරුෂි කරුණාරත්න විනාඩි 2.14කින් නිමා කර තිබූ සමස්ත ලංකා වයස අවුරුදු 16න් පහළ වාර්තාව විනාඩි 2.12කින් නිමා කරමින් එම වාර්තාව ද මෙයා සතු කරනවා.”

එම දක්ෂතාවත් සමඟින් පොඩි තරුෂි එම වසරේ වයස අවුරුදු 16න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව බවට ද පත් වෙනවා. අනතුරු ව ඇය මුහුණ දෙන ප්‍රධානත ම අභියෝගය වෙන්නේ ඩුබායි හී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලට සහභාගී කර ගැනීමේ තේරීම් තරගවලට සහභාගී වෙමින් ඊට සුදුසුකම් ලබා ගැනීමයි.

“තරුෂි ඒ තේරීම් තරගවල දී මීටර් 800 විනාඩි 2.09:16කින් නිමා කරමින් එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙම වයස් කාණ්ඩයේ හොඳම කාලය වාර්තා කරනවා. ඇයගේ මෙම දක්ෂතාව ඒ වෙනකොට ආසියානු කනිෂ්ඨ සහ යොවුන් ශ්‍රේණිගත කිරීම්වල අංක 1 බවට පත් වෙනවා. ඒක තවත් අතකින් විශේෂත්වයක් වෙන්නේ තරුෂි ඊට සහභාගී වෙද්දී වයස අවුරුදු 15ක ක්‍රීඩිකාවක් වීමයි.”

එම දක්ෂතාත් සමඟින් තරුෂි 2024 අප්‍රේල් මස ඩුබායි හී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා ගන්නවා. නමුත් සංචාරයට සතියක් පමණ තිබිය දී තරුෂි අසනීප වීම හේතුවෙන් තරගාවලියට සහභාගී නොවීමට තීරණය කරනවා.

“නමුත් තරගාවලියට සහභාගී වීමේ වැදගත් බව සලකා ඇයව තරගාවලියට එක් කරන්න සිදු වෙනවා. එහි දී ඇය මූලික වටයේ වගේ ම අවසන් තරගයේදීත් විනාඩි 2.10කට වගේ දුවනවා. ලංකාවේ ලාබාලත ම ක්‍රීඩිකාව ලෙසින් සහභාගී වූ ඇය, අසනීප තත්ත්වයෙන් සිටියදීත් එම ඉසව්වේ දී 4 වැනි ස්ථානය ලබා ගන්නවා. ඒ ලැබූ ස්ථානය පිළිබඳ ව අපි සෑහීමකට පත් වෙනවා. ඇය එහි දී සහභාගී වෙන්නේ වයස අවුරුදු 20න් පහළ ඉසව්වට.”

Athetic

ඉන් අනතුරු ව තරුෂි සහභාගී වෙන්නේ දකුණු ආසියානු කනිෂ්ඨ තරගාවලියට.

“එම තරගාවලියේ දී තරුෂි මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වෙනවා. ඒ ඊට පෙර පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ තරුෂි පරාජය වූ ඉන්දියාවේ රිදී පදක්කම්ලාභී ක්‍රීඩිකාව පරාජය කරමිනුයි.”

මේ දක්ෂතාවලට අමතර ව ඇය ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙල වෙනුවෙන් සහභාගී වූ පළමු අවස්ථාවේ දී ම මීටර් 800 සහ 1500 ඉසව් ද්විත්වයේ රන් පදක්කම් ද සහ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ එම ඉසව් ද්විත්වයේ දී ද වාර්තා සමඟින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වෙනවා. එමෙන් ම එම තරගවලට අමතර ව තරුෂි සතුව මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ මීටර් 800 සහ 1500 වාර්තාවන් ද සහ මධ්‍යම පළාත් දක්ෂතම ක්‍රීඩිකාව වූ පදක්කම් ද ඇය සතු වෙනවා.

“තරුෂි මේ කෙටි කාලයේ දී දැක් වූ දක්ෂතා ගැන ගොඩාක් සතුටු වෙනවා. ඇයට අනාගතයක් තියෙනවා. ඒ ගමන සැලසුම් කිරීමයි දැනට අපිට තියෙන වගකීම. මේ ගමනේ දී Scot Campus පෞද්ගලික ආයතනය තමයි අපිට උදව් කරන්නේ. ඔවුන් අපට අවශ්‍ය උපරිම මට්ටමෙන් සහයෝගය දෙනවා. ඔවුන් නිසා තමයි අපි මේ තරමින්වත් මේ තුළ රැඳී ඉන්නේ. නමුත් තවත් අවශ්‍යතා තියෙනවා. ඔවුන් වගේ ම තවත් කවුරු හරි තව උදව් කරනවා නම් කැමැතියි.“ බුද්ධික නුවන් මහතා පැවැසුවා.

බුද්ධික නුවන් ද හිටපු දක්ෂ මලල ක්‍රීඩකයෙක්. ඔහු වලල ඒ. රත්නායක විද්‍යාලයෙන් මලල ක්‍රීඩා පිටියට පිවිසි අයෙක්.

“පාසලෙන් ලත් ඒ ආභාෂය තමයි මේ. ඒ වගේ ම මගේ පුහුණුකරු සුසන්න ප්‍රනාන්දු සර් ගෙන් අදටත් ලැබෙන ගුරුහුරුකම් විශාල හයියක්. පුහුණුකරුවෙක් ලෙසින් වසර 4ක් පමණ කාලයක් සිට කටයුතු කරනවා. මේ ගෙවී ගිය කාලය තුළ සමස්ත ලංකා රන් පදක්කම් 50ක්, තරග වාර්තා 15ක් විතර සහ ජාත්‍යන්තර තරගවලට ක්‍රීඩකයන් 7 දෙනෙක්ගේ දක්ෂතා රටට දායාද කරන්න හැකි වෙලා තිබෙනවා. ඒ ගැන තෘප්තිමත්.”

ඒ තෘප්තිමත් වීමේ අග්‍රගන්‍ය ඵලය තරුෂි අභිශේකා.

“තරුෂි කියන්නේ දඹුල්ලේ බර දරාගෙන ගම්පොළට ආව ක්‍රීඩිකාවක්. ඇයට වාසනාව තිබුණා තමන්ගේ දක්ෂතාවලට වටිනාකමක් ලබා ගන්න. ඇය වගේ ම තවත් දක්ෂ ක්‍රීඩකයෝ වගේ ම ක්‍රීඩිකාවෝ ඇති ඔවුන්ගේ වටිනාකම හඳුනා නොගත්. ඔවුන්ට එසේ වෙන්නට නොදී කොතැනකින් හෝ එළියට ගන්න පුළුවන් නම් ඒක රටට සිදු කරන විශාල මෙහෙවරක් ලෙසයි මම දකින්නේ.“ බුද්ධික නුවන් මහතා පැවැසුවා.

“මේ තරමින් ආපු මේ ගමනට ගොඩාක් දෙනෙක් ආශිර්වාද කළා. ඒ අතර මගේ ගෙදර අයත් සහ බුද්ධික සර් පළමු තැන ඉන්නවා. ඒ සෑම දෙනෙක්ට ම ස්තූති වන්ත වෙනවා. තවත් ගොඩාක් දුර ගමනක් යන්න තියෙනවා. ඒ ගමන යන්න මහන්සියෙන් පුහුණුවීම් කටයුතුවල නිරත වෙනවා. සහභාගී වෙන සෑම තරගයක් හොඳින් නිමා කිරීමයි බලාපොරොත්තුව.” තරුෂි අභිශේකා පැවැසුවා.

මලල ක්‍රීඩා දිවියේ දිගු ගමනක් යෑමට තරුෂි අභිශේකා ට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<