2025 ආසියානු කුසලානයේ සුපිරි හතර වටයේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකාවට අවාසනාවන්ත පරාජයක් අත් විඳීමට ඊයේ (26) රාත්‍රියේ දී සිදු වුනා.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව සතු වූ අතර, ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දු යැවීමට තීරණය කළා.
මේ අනුව පළමු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මෙවරත් අතිශය ප්‍රවේගකාරී ඉනිමක් දියත් කිරීමට Abhishek Sharma විසින් සමත් වුනේ පන්දු 31කින් ලකුණු 61ක් ලබා ගනිමිනුයි. මෙහි දී ඔහු විසින් හයේ පහර 2ක් සහ හතරේ පහර 08ක් වාර්තා කිරීමට සමත් වුනා.
ඉන්දීය ඉනිමේ ලකුණු 92ක් සටහන් වන විට Sharma දැවී ගිය අතර, ඉන් පසුව කඩුල්ලේ එක් වූ Tilak Varma සහ Sanju Samson විසින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී Sanjuගේ පිත්තෙන් ලකුණු 39ක් වාර්තා වුනා. එමෙන්ම ඉනිමේ අවසන් භාගයේ දී Axar Patel වේගවත් ලකුණු 21ක් ලබා ගත් අතර, ඉනිම නිමා වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි Varma ලකුණු 49ක් ලබා ගැනීමට සමත් වුනා.
මේ අනුව ඉන්දීය ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 202ක් ලබා ගැනීමට සමත් වූ අතර, මහීශ් තීක්ෂණ, දුශ්මන්ත චමීර වනිඳු හසරංග, දසුන් ශානක සහ චරිත් අසලංක එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
මින් පසුව ඉන්දියාවෙන් ලද දැවැන්ත ඉලක්කය හඹා යාම වෙනුවෙන් පැතුම් නිස්සංක සමඟින් කුසල් මෙන්ඩිස් පිටියට පිවිසුණු අතර, ඊයේ දිනය ද කුසල්ට එතරම් සුබදායී එකක් වුනේ නැහැ. කුසල් ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වූ අතර, ඉන් පසුව පැතුම්ගේ සහයට කුසල් පෙරේරා පිටියට පැමිණියා. ඔවුන් දෙදෙනා විසින් මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ විශිෂ්ටතම සබඳතාව සටහන් කරමින් පන්දු 70ක් තුළ ලකුණු 127ක අතිශය ප්‍රවේගකාරී සබඳතාවක් ගොඩ නැංවීමට සමත් වුනා. මෙහි දී කුසල් පෙරේරාගේ පිත්තෙන් හතරේ පහර 08ක් සහ එක් හයේ පහරක් සමඟ පන්දු 32කින් ලකුණු 58ක් වාර්තා වුනා.
කුසල්ගේ දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ එතෙක් පැවති වේගවත් ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් අඩු වී ගියා. මෙහි දී නායක චරිත් සහ කමිඳු අඩු ලකුණු ලබමින් පිටියෙන් ඉවත් වූ අතර, පසුව දසුන් ශානක පැතුම් සමඟ පිටියේ එක් වුනා.
ඔවුන් දෙදෙනා විසින් නැවතත් තරගයේ වාසිය ශ්‍රී ලංකාව වෙත නතු කිරීමට සමත් වූ අතර, මෙහි දී සිය මංගල විස්සයි විස්ස ශතකය කරා පිය පැනීමට පැතුම් නිස්සංක විසින් සමත් වුනා.
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයට ම රැගෙන ආ පැතුම් විසින් තරගයේ 20 වැනි පන්දුවාරයේ පළමු පන්දුවෙන් දැවී යන විට පන්දු 58කට පමණක් මුහුණ දෙමින් ලකුණු 107ක් ලබා ගැනීමට සමත් වී සිටියා. මේ වෙනුවෙන් ඔහුගේ පිත්තෙන් හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් අන්තර්ගත වුනා.
පැතුම්ගේ දැවී යාමෙන් අනතුරුව දසුන් ශ්‍රී ලංකා බලාපොරොත්තු ගිලිහී යා නොදී රැක ගැනීමට උත්සාහ කරමින් පන්දු 11කින් ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීමට අවසන් පන්දුවෙන් ලකුණු 03ක් අවශ්‍ය වී තිබුණා. කෙසේ වෙතත් පිටියේ සිටි දසුන් සහ ජනිත් ලියනගේ විසින් මෙහි දී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 02ක් පමණයි. ඒ අනුව තරගය සම මට්ටමින් නතර වුනා.
මේ නිසා තරගයේ ජයග්‍රාහකයින් තීරණය කිරීමට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කළ අතර, මෙහි දී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලබාගැනීමට සමත් වුනේ ලකුණු 02ක් පමණයි. ඉන්දීය කණ්ඩායම අදාළ ඉලක්කය එක් පන්දුවක් තුළ හඹා යාමට සමත් වුනා.
මේ අනුව තරගයේ ජය ඉන්දියාවට උරුම වුනා.
කෙසේ වෙතත් තරගයේ වීරයා සම්මානය පැතුම් නිස්සංක සතු වුනා.
මේත් සමඟින් ම මෙවර ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන මෙතෙකින් නතර වනවා. තරගාවලියේ අවසන් තරගය එළඹෙන ඉරිදා ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















