ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන්වෙයි

441

2018 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ 3 වැනි අදියරේ දී සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු විය. ඒ තුන්වැනි ස්ථානය තේරීම සඳහා පැවති තරගයෙන් 07-19ක් වශයෙන් පිලිපීනය හමුවේ පරාජය වීමත් සමඟයි.

ඒ අනුව ලබන වසරේ හොංකොං හි පැවැත්වෙන ලෝක සත් සාමාජික තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව ද ශ්‍රී ලංකාවට අහිමි විය. මෙම අදියරේ සත්කාරකත්වය දැරූ ශ්‍රී ලංකාවට පිලිපීනය වැනි කණ්ඩායමක්, මෙවැනි අවශ්‍යම අවස්ථාවක පරාජය කරන්නට නොහැකි වීම පිළිබඳ බොහෝ ක්‍රීඩාලෝලීන් සතුව තිබෙන්නේ කණගාටුවක්ම පමණි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළඟ අවසාන තරගයට

ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තෙවැනි අදියරේ පළඟ අවසාන (Plate Final) තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි විය.

ආබාධ හේතුවෙන් ශ්‍රී ලංකාවේ නිත්‍ය නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ සුදම් සූරියආරච්චි යන දෙදෙනාම මෙම තරගයට ක්‍රීඩා නොකිරීම ශ්‍රී ලංකාවේ පරාජයට හේතු වූ ප්‍රධානම සාධකය ලෙසින් හැඳින්වූවත් වරදක් නැත.

තරගයේ පළමුවැනි මිනිත්තුව පසුවී තත්පර කිහිපයක් ඉක්මවූ විට ශ්‍රී ලංකාවේ සීමා ඉර පසුකිරීමට පිලිපීනයේ ජෝ ඩෝසන්ට හැකි විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ටීම් බෙරීට හැකි විය. (ශ්‍රී ලංකාව 00 – 07 පිලිපීනය)

4 වැනි මිනිත්තුවේ දී පිලිපීනයේ ඩොනල්ඩ් කෝල්මන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට යත්න දැරුව ද රීසා රෆයිඩීන්ගේ විශිෂ්ට ක්‍රීඩා විලාශය නිසා නියත උත්සාහක දිනුමක් පිලිපීනයට අහිමි විය.

රීසාගේ උත්සාහයට උපරිම සාධාරණයක් කරමින් නවීන් හේනකංකානම්ගේ 6 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කළ අතර  රීසා රෆයිඩීන් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (ශ්‍රී ලංකාව 07 – 07 පිලිපීනය)

ඉන්පසු පළමු අර්ධයේ දී ශ්‍රී ලංකාවට හිමි වූ පන්දුව ශ්‍රී ලංකාවේ අත්වැරදීමකින් පිලිපීන කණ්ඩායම සතු වූයෙන් පිලිපීනයේ රයන් හෝ වසින් උත්සාහක දිනුමක් වාර්තා කරන ලදි. එම උත්සාහක දිනුම කිසිසේත්ම පිලිපීනයට වාර්තා කරන්නට නොතිබූ එකක් වූවත් අවශ්‍යම අවස්ථාවක දී සිදු කළ අත්වැරදීම ශ්‍රී ලංකාවේ අවාසියටම බලපෑවේය.

කෙසේ නමුත් රයන් හෝ සමගින් කරට කර සටනක් දෙමින් එම උත්සාහක දිනුම පිලිපීනයට නොදී සිටීමට නවීන් හේනකංකානම්ගේ උපරිම උත්සාහ කළ ද අවසානයේ දී නවීන්ගේ උත්සාහය අසාර්ථක විය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 07 – 14 පිලිපීනය

දෙවැනි අර්ධයේ දී ද සිය ආක්‍රමණය අත්නොහැරී පිලිපීනය තරගයේ 10 වැනි මිනිත්තුවේ දී නොහොත් දෙවැනි අර්ධයේ 3 වැනි මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් හිමිකර ගැනීමට සමත් විය. එම උත්සාහක දිනුම වාර්තා කරන ලද්දේ පළමුවැනි උත්සාහක දිනුම වාර්තා කර ජෝ ඩෝසන්මයි.

Scrum අවස්ථාවක් ශ්‍රී ලංකාව පරාජය වීම නිසා එම උත්සාහක දිනුම වාර්තා කිරීමේ අවස්ථාව ඩෝසන් හට උදා වූ අතර යම්හෙයකින් සූරියබණ්ඩාර සහ සූරියආරච්චි ක්‍රීඩා කළේ නම් එම උත්සාහක දිනුම පිලිපීනය හිමිනොවන්නට තිබූ සම්භාවිතාව ඉතා විශාල එකකි. කෙසේ නමුත් උත්සාහක දිනුමේ ප්‍රවර්තනය අසාර්ථක විය. (ශ්‍රී ලංකාව 07 – 19 පිලිපීනය)

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපයේ දී දෙපිලම පන්දුව ස්පර්ශ කළත් කිසිදු කණ්ඩායමකට ලකුණු වාර්තා කළ නොහැකි විය. ඒ අනුව 07-14ක් වශයෙන් සත්කාරක ශ්‍රී ලංකාව පරාජය කරමින් තුන්වැනි ස්ථානය දිනා ගැනීමට පිලිපීනයට හැකි විය.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 07 (1T,1C) – 19 (3T, 2C) පිලිපීනය

ලකුණු රැස් කළ ක්‍රීඩකයන්;

  • පිලිපීනය – ජෝ ඩෝසන් (2T), රයන් හෝ (1T), ටීම් බෙරී (2C)
  • ශ්‍රී ලංකාව – නවීන් හේනකංකානම්ගේ (1T), රීසා රෆයිඩීන් (1C)

ශ්‍රී ලංකාව පරාජය කළ ජපානය අවසාන තරගයට

ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවලියේ (3 වැනි අදියර) ශූරතා කුසලානය වෙනුවෙන් පැවති අවසන් පූර්ව තරගයේ දී 34-17ක් ලෙසින් ජපානය හමුවේ පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු විය.

කොළඹ තුරඟ තරග පිටියේ දී මෙවර තරග පැවැත්වෙන අතර මෙම තරගයට ශ්‍රී ලංකාවේ නිත්‍ය නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහභාගී නොවූයේ ආබාධයක් නිසාය. එය ශ්‍රී ලංකාව පාර්ශවයෙන් ඉතා අවාසිදායක විය.

නිමා වූ ආසියානු ක්‍රීඩා උළෙලේ දී ජපානයට ප්‍රබල අභියෝගයක් ශ්‍රී ලංකාවෙන් එල්ල වූ බැවින් මෙම තරගය පිළිබඳ ශ්‍රී ලංකාව බොහෝ බලාපොරොත්තු තබා සිටිය ද තරගය පුරාවටම ජපානය ඉදිරියෙන් සිටි කණ්ඩායම විය.

තරගයේ පළමුවැනි මිනිත්තුවේ දී ම උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ජපානය සමත් වූ අතර එම උත්සාහක දිනුම වාර්තා කරන ලද්දේ කමේලි සූජීමා විසිනි. සූජිමා නැවැත්වීමට ශ්‍රී ලංකාවේ ධනුෂ්ක රන්ජන් උත්සාහ කළ ද එම උත්සාහය අසාර්ථක වූයේ සූජීමා සිටියේ සීමා ඉරට ආසන්නව බැවිනි. එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (ජපානය 5-0 ශ්‍රී ලංකාව)

තෙවැනි අදියරේ දීත් කාන්තාවෝ පළඟ ශූරතාව දිනති

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ කොළඹ දී පැවැත්වෙන 3 වැනි අදියරේ…

තරගය වැඩි වෙලා පෙරමුණේ සිටීමට ජපානයට නොහැකි වූයේ දෙවැනි මිනිත්තුවේ දී දිනුක් අමරසිංහ විසින් ඉතා විශිෂ්ට උත්සාහක දිනුමක් වාර්තා කිරීමත් සමඟයි. එහි ප්‍රවර්තනය සුදම් සූරියආරච්චි විසින් සාර්ථක කර ගැනීමත් සමගින් 5-7ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට සත්කාරක ශ්‍රී ලංකාවට හැකි විය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක පෙළෙන් සිදු වූ අත්වැරදීමකින් ජපානය වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම ඩායි ඔසාවා විසින් වාර්තා කරන ලද්දේ තුන්වැනි මිනිත්තුවේ දී ය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට කට්සුයුකි සැකයි හට හැකි විය. (ජපානය 12-7 ශ්‍රී ලංකාව)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ඉන්පසු ශ්‍රී ලංකාවට දඬුවම් දිනුමක් (Penalty) ලැබුණ ද පන්දුව ක්‍රීඩා පිටියෙන් ඉවතට යෑමට ප්‍රහාරයක් එල්ල කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි වූ බැවින් ශ්‍රී ලංකාව ලද අනගි අවස්ථාව ජපානයේ අවස්ථාවක් බවට පරිවර්තනය විය. ඒ අනුව තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ජපානයේ කට්සුයුකි සකායි හට හැකි විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක විය.

පළමු අර්ධය: ජපානය 19 – 07 ශ්‍රී ලංකාව

දෙවැනි අර්ධයේ දෙවැනි මිනිත්තුවේ දී ඩායි ඔසාවා විසින් ඔහුගේ දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරමින් කණ්ඩායම් දෙක අතර පරතරය වැඩි කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (ජපානය 24 – 7 ශ්‍රී ලංකාව)

තරගය අත්නොහැරි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉන් මිනිත්තුවක් ඉක්මයාමට මත්තෙන් උත්සාහක දිනුමක් වාර්තා කළහ. එහි හිමිකරු වූයේ කෙවින් ඩික්සන්ය. නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක වීමත් සමගින් ලකුණු සටහන දැක්වුණේ 24-12ක් ලෙසිනි.

ඉන්පසු තරගය ජපානයේ තරගයක් විය. දෙවැනි අර්ධයේ 4 සහ 7 යන මිනිත්තුවල දී තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට  ජපානය සමත් විය. එම උත්සාහක දිනුම් වාර්තා කරන ලද්දේ පිළිවෙළින් යොශිහිරෝ නොගූචි සහ කමේලි සූජීමා විසිනි. එහෙත් ප්‍රවර්තන ද්විත්වය සාර්ථක නොවීය. (ජපානය 34 – 12 ශ්‍රී ලංකාව)

තරගයේ අවසාන මිනිත්තු කිහිපයේ දී උත්සාහක දිනුමක් ලබා ගනිමින් තරගය ඉතා ගෞරවයෙන් පරාජය වීමට ශ්‍රී ලංකාවට හැකි විය. එම උත්සාහක දිනුම වාර්තා කරන ලද්දේ ඔමල්ක ගුණරත්න විසිනි. එහි ප්‍රවර්තනය ද අසාර්ථක එකක් විය

ඒ අනුව 34-17ක් ලෙසින් තරගය ජයගෙන ශූරතා කුසලාන අවසාන තරගය සුදුසුකම් ලැබීමට ජපානයට හැකි විය. ශ්‍රී ලංකාව 3න් වැනි ස්ථානය සඳහා වන තරගයට පිලිපීනය සමඟින් සවස 5.56ට ක්‍රීඩා කරනු ඇත.

එම තරගය ඇතුළු අනෙකුත් සියලුම තරග ThePapare.com, DTV සහ MyTy තුලින් ඔබට නැරඹිය හැක. තවද එම තරගවල තොරතුරු ThePapare.com වෙතින් ඔබට ගෙන එනු ඇත.

අවසන් ලකුණු තත්වය: ජපානය 34 (6T, 2C) – 17 (3T,1C) ශ්‍රී ලංකා

ලකුණු රැස් කිරීම;

  • ජපානය – කමේලි සූජීමා (2T), කට්සුයුකි සකායි (1T, 2C),  ඩායි ඔසාවා (2T), යොශිහිරෝ නොගුචි (1T)
  • ශ්‍රී ලංකාව – දිනුක් අමරසිංහ (1T), කෙවින් ඩික්සන් (1T), ඔමල්ක ගුණරත්න (1T), සුදම් සූරියආරච්චි (1C)

මැක්ස් ඩෙන්මාර්ක් ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහණය උදුරා ගනී

2018 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන අදියරේ දෙවන දිනය වූ අද (14) ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායම අද දිනයේ දී සහභාගී වූ පළමු තරගයෙන් ප්‍රබල හොංකොං කණ්ඩායම හමුවේ ලකුණු 21-12ක් ලෙස පරාජය විය. තරගාවලිය කොළඹ තුරඟ තරඟ පිටියේ දී පැවැත්වේ.

ඊයේ දිනයේ දී චීන තායිපේ හා චීන කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයට පිවිසුණේ ඉතා ඉහළ බලාපොරොත්තු සහිතවයි.

තරග ආරම්භයේ පළමු මිනිත්තු කිහිපයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුව තමන් වෙතම තබාගෙන ඉතා හොඳින් ක්‍රීඩා කළත්, තරගයේ තෙවන මිනිත්තුවේ දී ශ්‍රී ලංකා නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර ආබාධයකට ලක්වීම ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල පසුබෑමක් විය.

ධනුෂ්ක රන්ජන් ප්‍රමුඛ ශ්‍රී ලංකා නඩය චීන සහෝදරයින්ට බැට දෙති

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන අදියර අද (13) කොළඹ…

එම අහිමි වීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මදක් මන්දගාමී වූ අතර ඔවුන් පිට පිටම කළ වැරදි ද්විත්වයකින් දඬුවම් පහර දෙකක් උකහාගත් හොංකොං ක්‍රීඩකයෝ Cado LEE මගින් සිය පළමු උත්සාහක දිනුම රැස් කර ගන්නට සමත් විය. Jamie HOOD එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (ශ්‍රී ලංකාව 00-07 හොංකොං)

අනතුරුව හයවැනි මිනිත්තුවේ දී ධනුෂ්ක රන්ජන්ගෙන් මිදුණු මැක්ස් ඩෙන්මාර්ක් විශිෂ්ට ධාවනයක් සමඟින් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ ශ්‍රී ලංකාව ප්‍රබල පීඩනයකට ලක් කරමිනි. හුඩ් එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට සමත් විය. (ශ්‍රී ලංකාව 00-14 හොංකොං)

කණ්ඩායමේ බර කරට ගත් ගයාන් වීරරත්න හොංකොං ක්‍රීඩකයින් නොමග යවමින් පන්දුව කෙවින් ඩික්සන් වෙත යොමු කළ අතර කෙවින් විශිෂ්ට ධාවනයක් සමඟින් පළමු අර්ධය නිමා වීමට ප්‍රථම ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු සටහන් කරන්නට සමත් විය. සුදම් සූරියආරච්චි එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නා ලදි. (ශ්‍රී ලංකාව 07-14 හොංකොං)

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 07 – 14 හොංකොං

බලාපොරොත්තු සහිතව දෙවන අර්ධයට පිවිසුණු ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ආරම්භ වූ මොහොතේම සිය බලාපොරොත්තු බිඳ ගැනීමට සිදු වූයේ හොංකොං ක්‍රීඩකයෙකු තරග ආරම්භයේ ගුවනට මුසුකළ පන්දුව හඹා ගිය මැක්ස් ඩෙන්මාර්ක් දක්ෂ ලෙස පන්දුව රැකගෙන සුපිරි වේගයකින් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය නිසයි. ජේමි හුඩ් එහි ප්‍රවර්තනයත් සාර්ථක කර ගැනීමට සමත් විය. (ශ්‍රී ලංකාව 07-21 හොංකොං)

පරාජයෙන් ගැලවෙන්න උත්සහ කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රිසා රෆයිඩීන් හොංකොං ක්‍රීඩකයෙකු බිම හෙලා විශිෂ්ට ධාවනයක යෙදෙමින් දක්ෂ උත්සාහක දිනුමක් වාර්තා කළත් ඔහුගේ එම උත්සාහය ශ්‍රී ලංකාව පරාජයෙන් ගලවා ගන්නට ප්‍රමාණවත් වූයේ නැත.

කළුආරච්චි හා තනුජා වීරක්කොඩි කොරියානු සිහින බොඳ කරයි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන අදියර අද (13) කොළඹ…

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 12 (2T, 1C) -21 (3T, 3C) හොංකොං

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ;

  • ශ්‍රී ලංකාව – කෙවින් ඩික්සන් (1T), සුදම් සූරියආරච්චි (1C), රිසා රෆයිඩීන් (1T)
  • හොංකොං – මැක්ස් ඩෙන්මාර්ක් (2T), ජේමි හුඩ් (3C), Cado LEE (1T)

ශ්‍රී ලංකාව මීළඟට කුසලාන අවසන් පූර්ව තරගයේ දී ජපානය හමුවීමට නියමිතයි. තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<