ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.
එළඹෙන ජුනි මාසයේ දී බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව සිය 16 වසරක ටෙස්ට් ක්‍රිකට් ගමන් මගේ අවසානය සනිටුහන් කිරීමට තමන් තීරණය කළ බව මැතිව්ස් ඊයේ (23) දිනයේ දී දැනුම් දුන්නා.
මේ වන විට 37 හැවිරිදි වියේ පසු වන (එළඹෙන ජුනි 02 දා ඔහු 38 වැනි වියට පා තබනු ඇති) ඇන්ජලෝ මැතිව්ස් විසින් 2009 වසරේ දී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් ලබා ගනිමින් මේ දක්වා ටෙස්ට් ක්‍රිකට් තරග 118ක් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සමත් වුනා.
මෙහි දී ඔහු විසින් 44.62ක පිතිකරණ සාමාන්‍යයක් ද සමඟ ලකුණු 8167ක් ලබා ගැනීමට සමත් වන්නේ, සිය පෞද්ගලික හොඳම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 200ක් වාර්තා කරමිනුයි. එමෙන්ම ඔහු විසින් ටෙස්ට් පිටියේ දී ශතක 16ක් සහ අර්ධ ශතක 45ක් ලබා ගනිමින් මෙන්ම, පන්දු යැවීමෙන් ටෙස්ට් කඩුලු 33ක් ද දවා ගැනීමට සමත් වුනා.
මේ වන විට ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර තෙවැනි ස්ථානයේ රැඳෙන්නේ, කුමාර් සංගක්කාරට සහ මහේල ජයවර්ධනට පමණක් පසු පසින් රැඳෙමිනුයි.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
“ගෙවුණු වසර 17ක කාලය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබීම මම ලද ඉහළම ගෞරවය සහ අභිමානයයි.
මම ක්‍රිකට් වෙනුවෙන් සියලු ම දේ ලබා දුන් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රිකට් විසින් ද මට සියලු දේ ලබා දෙමින්, මම අද සිටිනා පුද්ගලයා බවට පත් කළා.
මම තේරීම් කමිටුව සමඟ සාකච්ඡා කර අයුරින් ම සීමිත පන්දුවාර තරග සඳහා රටට අවශ්‍ය නම්, මම ඒ වෙනුවෙන් සූදානමින් සිටිනවා.“
View this post on Instagram
තමන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමු දුන්න ද, සීමිත පන්දුවාර ක්‍රිකට් තරග සඳහා සූදානමින් සිටින බවට ද මැතිව්ස් සඳහන් කරනවා. කෙසේ වෙතත් ගෙවුණු කාල වකවානුව තුළ මැතිව්ස් බොහෝ දුරට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ තේරීම් කටයුතු සඳහා පමණක් මූලික වශයෙන් සම්බන්ධ කර ගත්තා.
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 34ක දී ශ්‍රී ලංකාවට නායකත්වය ලබා දුන් මැතිව්ස් විසින් 2014 වසරේ දී එංගලන්තයට එරෙහිව ලද අමතක නොවන ටෙස්ට් ජයග්‍රහණය වෙනුවෙන් නායකයකු ලෙස මෙන්ම ක්‍රීඩකයකු ලෙස ද ලබා දුන් සහයෝගය කිසි දිනක ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට අමතක නොවනු ඇති.
විශේෂයෙන්ම 2013 – 2015 තරග කාල සීමාව තුළ මැතිව්ස් විසින් පිතිකරුවකු ලෙස සිය හොඳම දක්ෂතා අතරට පිවිසෙමින් ලොව විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවකු ලෙස පැසසුම් ලබා ගැනීමට පවා සමත් වුනා.
කෙසේ වෙතත් මෙම ගෙවෙන කාල සීමාව අතරතුර ශ්‍රී ලංකාවට තවත් බොහෝ ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට නොලැබීම මැතිව්ස්ගේ මෙම තීරණයට හේතුව බව වටහා ගත හැකියි.
දෙස් විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<