ප්‍රෞඪ  ඉතිහාසයකට හිමිකම් කියන කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය අතර පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමයේ 88 වන දිග හැරුම අද (4) කොළඹ එස්.එස්.සී. පිටියේ දී සනිටුහන් විය. මහේල ජයවර්ධන, අර්ජුන රණතුංග, මාවන් අතපත්තු, කුමාර ධර්මසේන හා දිනේෂ් චන්දිමාල්  වැනි  අති දක්ෂයින් රැසකගේ ප්‍රාරම්භක සංග්‍රාමය වූයේ මෙම සුලෝහිත සංග්‍රාමයයි.

තරගාවලියේ අතීතය දෙස බලන විට, ආනන්ද විද්‍යාලය තරග 11ක්ද, නාලන්ද විද්‍යාලය තරග 6ක්ද ජයග්‍රහණය කර ඇති අතර, තරග 70ක්ම ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. අවසන් වරට තරගයක් ජයග්‍රහණයකින් අවසන්ව ඇත්තේ 2003 වර්ෂයේ දීය. එම තරගයේ ජය ආනන්ද විද්‍යාලයට හිමි විය.

නාලන්දාව ජයග්‍රහණයට මාන බලද්දී, මහා තරගයේ වැඩි වාසි ආනන්දයට

මේ වසරේ සුලෝහිත සංග්‍රාමයට පිවිසෙන ආනන්ද කණ්ඩායම නාමිකව ගත් කල වඩාත් ප්‍රබල කණ්ඩායමයි. මෙවර තරග වාරය තුල තරමක් රළු ගමනක යෙදුණු නාලන්ද…

මෙවර 88 වන දිග හැරුමේ කාසියේ වාසිය ජයග්‍රහණය කල ආනන්ද විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

[rev_slider dfcc728]

ආනන්ද විද්‍යාලයේ ආරාධනය පිලි ගත් නාලන්ද විද්‍යාලය, ආරම්භක ඉනිම දියත් කිරීමට පිටියට පිවිසි අතර, පළමු කඩුල්ල සඳහා සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට නාලන්ද විද්‍යාලයේ ආරම්භක පිතිකරුවන් දෙපල සමත් විය. අනතුරුව ක්‍රියාත්මක වුනු ආනන්ද විද්‍යාලයේ පන්දු යවන්නන් තමන් පළමුව පන්දු යැවීමට ගත් තීරණය නිවැරදි බවට පසක් කරමින් නාලන්ද විද්‍යාලයේ පළමු කඩුලු 5 අඩු ලකුණු සංබ්‍යාවක් තුල දවා ගන්නා ලදි. අනතුරුව නාලන්දා ධජ ගුවනට මුසු කරමින් සුහඟ විජේවර්ධන ඉවසිලිමත්ව පිත්ත හැසිර වූ අතර නාලන්ද විද්‍යාලයේ ප්‍රේක්ෂකාගාරය අවධි කරමින් ලකුණු 37ක් ලබා ගන්නා ලදි.

සුහඟ නාලන්ද පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වන විට ආනන්ද විද්‍යාලයේ දක්ෂ පන්දු යැවීම හමුවේ ලකුණු 31ක් හා 26ක් ලබා ගන්නට මදුෂාන් හසරංග හා අවිශ්ක පෙරේරා සමත් වූයේ නාලන්ද විද්‍යාලයට යම් සැනසිලි දායක ලකුණු පුවරුවක් වෙත යාමට මඟ පාදා දෙමිනි.

පන්දු යැවීමේ දී ආනන්ද විද්‍යාලය වෙනුවෙන් කවිශ්ක අංජුල සාර්ථකත්වයේ උපරිම ඵල නෙලා ගන්නට සමත් වූයේ ලකුණු 37ක් තුල නාලන්ද පළමු ඉනිමේ වැදගත් කඩුලු 3ක් දවා ගනිමිනි. ඔහුට සහය දුන් චාමික ගුණසේකර හා සුපුන් වරාගොඩ අතර කඩුලු 2ක බැගින් බෙදී යන ලදි.

අනතුරුව තම පිළිතුරු පළමු ඉනිම ආරම්භ කිරීමට පිටියට පැමිණි ආනන්ද විද්‍යාලය වෙනුවෙන් අත්දැකීම් බහුල සම්මු අශාන් දිනයේ වැඩිම අවධානයට ලක් වූ ක්‍රීඩකයා බවට පත්වෙමින් පළමු දිනය අවසන් වන විට නොදැවී ලකුණු 60*ක් ආනන්ද ලකුණු පුවරුවේ සටහන් කලේ 88 වැනි සුලෝහිත සංග්‍රාමයේ පළමු අර්ධ ශතකය ද ආනන්ද විද්‍යාලයට හිමි කර දෙමිනි.

තවද ආනන්ද විද්‍යාලය දැනටමත් තම පළමු ඉනිමේ ජයග්‍රහණය සනිටුහන් කරගෙන අවසන් වන අතර, ආනන්ද විදුහල් පළමු ඉනිමේ මැදපෙළ සවිමත් කරමින් ලකුණු 37ක් ලබා ගැනීමට දුශාන් හෙට්ටිගේ සමත් වූයේ අවබෝධාත්මක පිතිකරණයක නිරත වෙමිනි. ආනන්ද විද්‍යාලයේ නායක කවිශ්ක අංජුල තම තුන් ඉරියව් දස්කම් විදහා දක්වමින් ලකුණු 25ක් වාර්තා කලේ තම වගකීම හැකි උපරිමයෙන්ම ඉෂ්ට කරමිනි.

නාලන්ද විද්‍යාලය වෙනුවෙන් අසේල කුලතුංග ලකුණු 45කට කඩුලු 3ක් හා මාලිංග අමරසිංහ ලකුණු 32කට කඩුලු 2ක් දවා ගනිමින් දස්කම් දැක්වීය.

නාලන්ද විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 144 (51.5): සුහඟ විජේවර්ධන 37, මදුෂාන් හසරංග 31, අවිශ්ක පෙරේරා 26, කවිශ්ක අංජුල 3/37, චාමික ගුණසේකර 2/23, සුපුන් වරාගොඩ 2/26

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 160/5 (41): සම්මු අශාන් 60*, දුශාන් හෙට්ටිගේ 37, කවිශ්ක අංජුල 25, අසේල කුලතුංග 3/45, මාලිංග අමරසිංහ 2/32

අද දිනයට තරගය ක්‍රියාත්මක වූ ආකාරය දෙස බලන විට නාලන්ද විද්‍යාලයේ ක්‍රීඩා රටාවන් සියල්ලක්ම පාහේ ආනන්ද විද්‍යාලය විසින් හොඳින් අධ්‍යයනය කර ඇති බවක් පෙනෙන්නට තිබූ අතර, තරගයේ වැඩි වාසිය දැනටමත් ආනන්ද විද්‍යාලය සතුව ඇත. එම නිසා හෙට දිනය තුල ඉතා තියුණු තරගයක් ක්‍රීඩාලෝලීන්ට දැක ගන්නට හැකි වන බව කිව යුතුමයි.

හෙට (5) සුලෝහිත සංග්‍රාමයේ දෙවන හා අවසන් දිනය වන අතර, හෙටත් උදෑසන 9 සිට ThePapare.com තුලින් සජීවී ව තරගය නැරඹිය හැකිය.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට