ඇෆ්ගනිස්තානය ජය ගනිද්දී නෙදර්ලන්තය පන්දුව පළුදු කරයි

940

නෙදර්ලන්තය සමඟ පැවති තෙවැනි එක්දින තරගය ලකුණු 75කින් ජය ගත් ඇෆ්ගනිස්තානය තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කරමින් 2023 එක්දින ලෝක කුසලානය සඳහා වන ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි තැන දක්වා ඉහළට ඒමට සමත් වුනා.

දෝහා නුවර දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් පළමුවෙන් පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 254ක්.

ඇෆ්ගනිස්තාන ඉනිමේ පළමු කඩුල්ල ලෙස Rahmanullah Gurbaz ලකුණු 12කට පිටියෙන් ඉවත් කිරීමට සිය මංගල තරගය ක්‍රීඩා කළ Clayton Floydට හැකි වුනා. නමුත් ඔහුගේ සහයක ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණි Riaz Hassan සිය පළමු තරගයේ දී ම අර්ධ ශතකයක් රැස් කළා.

ඇෆ්ගනිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් Najibullah Zadran පන්දු 72ක් තුළ ලකුණු 71ක් රැස්කිරීමට සමත් වූ අතර ඔහුට අමතරව Rahmat Shah (48), Hashmatullah Shahidi (28) රැස්කළ ඉනිම් නිසාවෙන් ඇෆ්ගනිස්තානයට හොඳ ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට හැකි වුනා.

තරගය තරමක් උණුසුම් කරමින් ඇෆ්ගනිස්තාන ඉනිමේ 41 පන්දුවාරයේ දී පන්දුව පළුදු කිරීමක් විනිසුරුවරයන්ගේ අවධානයට ලක්වූ අතර එම සිදුවීම නිසාවෙන් නෙදර්ලන්ත කණ්ඩායමට දඬුවමක් ලෙස ඇෆ්ගනිස්තානයට දඬුවම් ලකුණු 5ක් එක් කිරීමට ඔවුන් කටයුතු කිරීම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී ඉහළ දස්කම් පෙන්වීමට සමත් වූ Clayton Floyd පන්දුවාර 8ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 17කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 103ක වටිනා සම්බන්ධතාවක් පිහිටුවීමට Scott Edward සහ Colin Ackermannට හැකි වුනා.

Scott Edwards ලකුණු 52ක් ලබා සිටිය දී Qais Ahmadගේ පන්දුවක් හමුවේ පිටියෙන් ඉවත් වූ අතර Colin Ackermann ලකුණු 81ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් කිරීමට Rashid Khanට හැකි වුනා.

එතැන් පටන් නෙදර්ලන්ත ඉනිමේ කිසිම පිතිකරුවෙක්ට සාර්ථකව වීමට ඉඩ නොදුන් ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් නෙදර්ලන්ත ඉනිම පන්දුවාර 42.4ක් තුළ ලකුණු 179කට සීමා කළා.

Rashid Khan ලකුණු 37ක් තුළ කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූ අතර ඇෆ්ගනිස්තාන ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වූ සිය මංගල තරගය ක්‍රීඩා කළ Qais Ahmad ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත්තා.

ඒ සමඟින් සමස්ත තරගාවලියේ ප්‍රසාද ලකුණු 30ක් ලබා ගනිමින් 2023 ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීම සඳහා වන සුපර් ලීග් තරගාවලියේ මුළු ලකුණු 60ක් සමඟ පස්වැනි තැන දක්වා ඉහළට පැමිණීමට ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින්ට හැකි වූ අතර ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකාව, එංගලන්තය, බංග්ලාදේශය සහ අයර්ලන්තය පමණයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<