පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනා ගනී

ACC Men’s U19 Asia Cup 2025

2
ACC Men’s U19 Asia Cup 2025

ආසියානු ක්‍රිකට් කවුන්සිලය 12 වැනි වරටත් සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වීමට පාකිස්තාන කණ්ඩායම සමත් වෙනවා.

Dubai, ICCA ක්‍රීඩාංගණයේ දී (21) පැවැති අවසන් මහා තරගයේ දී ඔවුන් ඉන්දියාවට එරෙහි ව ලකුණු 191ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරනවා. පාකිස්තානය මීට පෙර ආසියානු කුසලානයක් තනිව දිනා නොසිටි අතර ඔවුන් 2012 වසරේ දී ඉන්දියාව සමඟින් සම ශූරයන් බවට පත් ව සිටියා. ඉන්දියාව මේ දක්වා ආසියානු කුසලානය 7 වරක් දිනා තිබෙනවා.

නිමා වූ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 347ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඉන්දීය කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 156ක් පමණයි. ඒ වෙද්දී ඔවුන්ගේ ඉනිමේ තවත් පන්දු 142ක් ද ඉතිරි ව තිබුණා.

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු Sameer Minhas. ඔහු පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 9ක් සමඟින් ලකුණු 172ක් ලබා ගන්නවා. ඔහුගේ මෙම ඉනිම යොවුන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග පිටියේ අවසන් මහා තරගයක දී ක්‍රීඩකයෙක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

ඔහු Usman Khan සමඟ එක් වෙමින් 2 වැනි කඩුල්ලට පන්දු 79ක දී ලකුණු 92ක සබඳතාවක් ද සහ Ahmed Hussain සමඟ එක් වෙමින් 3 වැනි කඩුල්ලට පන්දු 125ක දී ලකුණු 137ක සබඳතාවක් ද ගොඩ නගනවා. එහි දී Ahmed Hussain පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 56ක් ද සහ Usman Khan පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී Deepesh Devendran ලකුණු 83කට කඩුලු 3ක් දවා ගනිමින් ඉන්දීය ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Henil Patel සහ Khilan Patel කඩුලු ද්විත්වය බැගින් ද, Kanishk Chouhan කඩුල්ලක් ද දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ ප්‍රහාරාත්මක ආරම්භයක් ලබා ගත්ත ද එය දිගින් දිගට ම පවත්වාගෙන යෑමට ඔවුන්ට හැකි වෙන්නේ නැහැ. ඔවුන් පළමු පන්දුවාරයේ දී ම ලකුණු 21ක් ලබා ගන්නා ලද අතර 2 වැනි පන්දුවාරයේ දී ලකුණු 11ක් ලබා ගන්නවා. නමුත් ඔවුන්ගේ පළමු පන්දුවාර 10 අවසන් වෙන්නේ කඩුලු 5ක් දැවී ලකුණු 68ක් ව පවතිද්දීයි.

එලෙසින් අසරණ වූ ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Deepesh Devendran. අංක 10 පිතිකරු ලෙසින් පිටියට පිවිසි ඔහු පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා.

ඔහු අවසන් කඩුල්ල සඳහා Kishan Singh (නොදැවී 3) සමඟ එක් වෙමින් ලකුණු 36ක සබඳතාවක් ද ගොඩ නගනවා. එය ඉනිමේ හොඳම ලකුණු සබඳතාවයි.

පන්දු යැවීමේ දී  Ali Raza ලකුණු 42කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Huzaifa Ahsan, Abdul Subhan සහ Mohammad Sayyam කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 347 (50.0)Sameer Minhas172, Usman Khan 35, Ahmed Hussain 56, Henil Patel 2/62, Deepesh Devendran 3/83, Khilan Patel 2/44
  • ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 156 (26.2)Vaibhav Suryavanshi26, Deepesh Devendran 36, Ali Raza 4/42, Mohammad Sayyam 2/38, Abdul Subhan 2/29, Huzaifa Ahsan 2/12

පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 191ක ජයක්.

අවසන් මහා තරගයේ වීරයා – Sameer Minhas (පාකිස්තානය)

තරගාවලියේ වීරයා – Sameer Minhas (පාකිස්තානය)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<