ආසියානු ලෝකඩ පදක්කම්ලාභී නිර්මලා දිසානායකට ප්‍රණාම රන් පදක්කමක්….

133

1962 වර්ෂයේදී ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 200 ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන් නිර්මලා දිසානායක මහත්මියට අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පිරිනමන උපහාර රන් පදක්කම ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතින් අද පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පිරිනැමිණ.

 

60,70 දශකයේ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් ජාත්‍යන්තර ජයග්‍රහණ අත්පත් කරදෙමින් ආසියාතික හා ලෝක මට්ටමේ ක්‍රීඩා තරඟ නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට රන්, රිදී, ලෝකඩ පදක්කම් දිනාදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කළ ක්‍රීඩා උපහාර රන් පදක්කම් ප්‍රදානය කිරීම යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට පසුගියදා මෙම උපහාරයන් පුද කර තිබුණ අතර ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින නිර්මලා දිසානායක මහත්මිය අදාළ උළෙලට සහභාගී වීමට නොහැකි වූ බැවින් ඇයට හිමි මෙම පදක්කම පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් බණ්ඩාර,  ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි, මළල ක්‍රීඩා සංගමයේ සභාපති පාලිත ප්‍රනාන්දු, මළල ක්‍රීඩා සංගමයේ ලේකම් ප්‍රේමා පින්නවල යන මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූහ.