එක්දින ජාත්යන්තර තරග ඉතිහාසයේ දෙවැනි ඉහළ ම ලකුණු හඹා යෑම සහ තවත් වාර්තාවන් රැසක් ද සමඟින් නිමා වූ ශ්රී ලංකා – එංගලන්ත එක්දින තරගයෙන් කඩුලු 2ක ජයග්රහණයක් ලබා ගැනීමට ශ්රී ලංකා ක්රීඩකයෝ සමත් වුණා.
Rawalpindi ක්රිකට් ක්රීඩාංගණයේ දී (22දා) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්රහණය කළ ශ්රී ලංකා ක්රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්රතිවාදීන් සතු කළා. ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත ක්රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 429ක් ලබා ගන්නේ ශ්රී ලංකාවට එරෙහි ව එක්දින ජාත්යන්තර තරගයක දී ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්යාව වාර්තා කරමින්.
ඊට පිළිතුරු ඉනිමට පිවිසි ශ්රී ලංකා ක්රීඩකයෝ ප්රතිවාදී ඉලක්කය තවත් පන්දුවක් ද ඉතිරි කරගනිමින් කඩුලු 8ක් පමණක් දැවී සපුරා ගැනීමට සමත් වෙනවා. එය ශ්රී ලංකා එක්දින තරග ඉතිහාසයේ එංගලන්තයට එරෙහි ව ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්යාව වූ අතර ශ්රී ලංකා එක්දින තරග ඉතිහාසයේ ඉහළ ම ලකුණු හඹා යෑම බවට ද පත් වුණා.
>>සත්කාරකයෝ ජයග්රහණයකින් තරගාවලිය ආරම්භ කරයි<<
ශ්රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්යන්තර ක්රිකට් තරගාවලියේ මෙම කණ්ඩායම් ද්විත්වය ම මෙම තරගයට එක් වෙන්නේ සත්කාරක පාකිස්තාන ක්රීඩකයන් ඉදිරියේ පරාජය වෙමිනුයි. තරගාවලියේ ඉදිරියට යෑමට නම් ඔවුන්ට මේ තරගයේ ජයග්රහණය වඩාත් වැදගත් වූවා.
එවන් පසුබිමකින් ආරම්භ වූ මෙම තරගයට ශ්රී ලංකා කණ්ඩායම එක් වෙන්නේ පෙර පාකිස්තානය සමඟින් වූ පරාජිත තරගයට එක් කර ගත් සචිඳු කොළඹගේ වෙනුවට දුනිත් වෙල්ලාලගේ එක් කර ගනිමිනුයි.
එංගලන්ත කණ්ඩායම පෙර පරාජය වූ පාකිස්තානය සමඟ තරගට එක් වූ කණ්ඩායමේ වෙනස්කම් ද්විත්වයක් සිදු කර තිබුණා. ඒ Adil Rashid සහ Sonny Baker වෙනුවට Liam Dawson සහ Josh Tongue එක් කර ගනිමිනුයි.
ශ්රී ලංකා කණ්ඩායම
කුසල් මෙන්ඩිස් (නායක සහ කඩුලු රකින්නා), කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්රනාන්දු, පවන් රත්නායක, දසුන් ශානක, ජනිත් ලියනගේ, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, එශාන් මාලිංග, අසිත ප්රනාන්දු සහ ඩිල්ශාන් මදුශංක.
එංගලන්ත කණ්ඩායම
Harry Brook (නායක), Tom Banton, Ben Duckett, Joe Root, Will Jacks, Sam Curran, Jordan Cox (කඩුලු රකින්නා), Jamie Overton, Liam Dawson, Gus Atkinson සහ Josh Tongue.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්ත ඉනිම වෙනුවෙන් නායක Harry Brook පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සහ හයේ පහර 10ක් සමඟින් ලකුණු 202ක් ලබා ගන්නවා. එය එංගලන්ත එක්දින ජාත්යන්තර තරග ඉතිහාසයයේ පළමු ද්විත්වය ශතකය වූ අතර පන්දු 114කින් වාර්තා වූ එම ද්විත්ව ශතකය ලෝක එක්දින තරග ඉතිහාසයේ වේගවත් ම ද්විත්ව ශතකය බවට ද පත් වුවා. ඔහු විසින් අභිබවා ගියේ පසුගිය මාසයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ව ඉන්දීයාවේ Shubman Gill විසින් පන්දු 117ක දී වාර්තා කළ ද්විත්ව ශතක ඉනිමයි.
ඔහුගේ එම ඉනිම තුළ දී Joe Root සමඟින් 3 වැනි කඩුල්ලට පන්දු 127ක දී ලකුණු 159ක සබඳතාවක් ද සහ Will Jacks හා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 77ක දී ලකුණු 185ක සබඳතාවක් ද එක් කළා.
එහි දී Joe Root පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 69ක් ද සහ Will Jacks ඉනිම අවසන් වෙද්දී පන්දු 30ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 66ක් ද ලබා සිටියා.
ඔවුන්ට අමතර ව ඉනිම ආරම්භ කළ Tom Banton ද පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 56කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව ජනිත් ලියනගේ සහ අසිත ප්රනාන්දු කඩුල්ල බැගින් දවා ගත්තා.
- ශ්රී ලංකා යෞවනියෝ තුන්කොන් ශූරතාව දිනා ගනී
- ආනන්ද ශාස්ත්රාලයේ ක්රිකට් ක්රීඩාවට මූල්ය ශක්තියක් එක් කරන ශාස්ත්රාලියන් ප්රිමියර් ලීග් 2026
- Hong Kong යන ශ්රී ලංකා Sixes කණ්ඩායමත් සූදානම්
- පාකිස්තානු පොඩ්ඩෝ වේලාසනින් ම තරගාවලිය ජය ගනී
- Major Club සිව් දින තරගාවලියට දින වෙන් කරයි
පිළිතුරු ශ්රී ලංකා ඉනිම සුපුරුදු ලෙසින් ම කමිඳු මෙන්ඩිස් සහ අවිශ්ක ප්රනාන්දු එක් ව ආරම්භ කළ අතර කමිඳු මෙන්ඩිස් පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 18කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 2 වැනි පන්දුවේ දී නායක කුසල් මෙන්ඩිස් ද ලකුණු නොලබා ම දුවද්දී දැවී යන අතර ඒ වෙද්දී ශ්රී ලංකා ඉනිම දැක් වුණේ කඩුලු 2ක් දැවී ලකුණු 24ක් ලෙසයි.
ශ්රී ලංකා ඉනිම වැටි සිටි එම අසීරු තත්ත්වයේ දී අවිශ්ක ප්රනාන්දු සහ පවන් රත්නායක එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 137ක දී ලකුණු 166ක සබඳතාවක් එක් කරනවා. එම අගනා සබඳතාව බිඳී යන්නේ ශතකයට ලකුණු 3ක් මෙපිටින් සිටි අවිශ්ක ප්රනාන්දු ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යද්දී පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 97ක් ලබා සිටියා.
එම සාර්ථක සබඳතාවෙන් පසුව පවන් රත්නායක හා එක් වූ දසුන් ශානක තවත් සාර්ථක සබඳතාවක් ශ්රී ලංකා ඉනිමට එක් කරනවා. ඔවුන් දෙදෙනා එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 79ක දී ලකුණු 133ක සබඳතාවක් එක් කරමින් තරගය ජයග්රහණය පෙනෙන මානයට ගෙන ගියා.
එම කඩුල්ලේ සබඳාතාව බිඳ වැටෙන්නේ පවන් රත්නායකගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු මෙම තරගයේ දී තම එක්දින ජාත්යන්තර තරග 11ක හොඳම ඉනිම ක්රීඩා කරන්නේ, පන්දු 106කට මුහුණ දී හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 130ක් ලබා ගනිමිනුයි.
ඔහු ඉනිම හැර යද්දී ශ්රී ලංකාවේ ජයග්රහණය තවත් ලකුණු 107ක් මෙපිටින් රැඳී තිබුණා. ඒ වෙද්දී පිටියේ රැඳී සිටියේ දසුන් ශානක හා ජනිත් ලියනගේ. ඒ සඳහා ඔවුන්ට ඉතිරි ව තිබුණේ තවත් පන්දු 58ක් පමණයි.
ඉන් පන්දු 22ක දී ලකුණු 40ක් එක් වෙද්දී දසුන් ශානක ද ශතකයට ලකුණු 3ක් මෙපිටින් සිටිය දී දැවී යනවා. ඔහු ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 50ක දී හයේ පහර 8ක් සහ හතරේ පහර 6ක් සමඟින් ලකුණු 97ක් ලබා සිටියා.
අනතුරු ව ජනිත් ලියනගේ හා එක් වූ සහන් ආරච්චිගේ 6 වැනි කඩුල්ලට පන්දු 18ක දී ලකුණු 43ක සබඳතාවක් එක් කරමින් තරගය තව දුරටත් තමන් සන්තකයේ තබා ගැනීමට පොර බැදුවා.
ශ්රී ලංකා ජයග්රහණයට පන්දු 18ක දී ලකුණු 24ක් අවැසිව තිබිය දී සහන් ආරච්චිගේ (13) ද දැවී යෑමත් සමඟින් එම තත්ත්වය තරමක් සසල වූවා.
ශ්රී ලංකාව තරගයේ අවසන් පන්දුවාරයට පිවිසෙන්නේ ජයග්රහණයට තවත් ලකුණු 8ක් අවශ්යව තිබියදීයි. එහෙත් එම පන්දුවාරයේ පළමු පන්දුවෙන් පසුව යැවුණ පිට පිට පන්දු 2 දී දුනිත් වෙල්ලාලගේ (8) සහ එශාන් මාලිංග (0) දැවී යනවා.
පන්දුවාරයේ සිව් වැනි පන්දුවේ දී නවක පිතිකරු අසිත ප්රනාන්දු ලකුණක් ලබා ගනිමින් ජනිත් ලියනගේට අවස්ථාව සලසා දෙන අතර ඔහු ඉනිමේ අවසන් පන්දුව ද ඉතිරි කර ගනිමින් එල්ල කළ හයේ පහරත් සමඟින් ශ්රී ලංකාවට ඓතිහාසික ජයග්රහණයක් සැමරීමට වාතාවරණය උදා කරනවා.
තරගය අවසන් වෙද්දී ජනිත් ලියනගේ පන්දු 27ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 61ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Josh Tongue ලකුණු 79කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Sam Curran කඩුලු 2ක් ද, Liam Dawson සහ Jamie Overton කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- එංගලන්තය – කඩුලු 4ක් දැවී 429 (50.0) Tom Banton 50, Ben Duckett 29, Joe Root 69, Harry Brook 202, Will Jacks නොදැවී 66, දුනිත් වෙල්ලාලගේ 2/56
- ශ්රී ලංකාව – කඩුලු 8ක් දැවී 430 (49.5) අවිශ්ක ප්රනාන්දු 97, පවන් රත්නායක 130, දසුන් ශානක 97, ජනිත් ලියනගේ නොදැවී 61, Josh Tongue 3/79, Sam Curran 2/103
ශ්රී ලංකාව කණ්ඩායමට කඩුලු 2ක ජයක්.
තරගයේ වීරයා – පවන් රත්නායක (ශ්රී ලංකාව)
තරගාවලියේ ශ්රී ලංකාව සහභාගී වන 3 වැනි තරගය මේ මස 27 වැනිදා නැවත පාකිස්තානය සමඟින් Lahore හී Gaddafi ක්රීඩාංගණයේ දී දිවා/රාත්රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















