චමීර සහ බිමන්දි පොදුරාජ්‍ය මේස පන්දු කණ්ඩායම්වල නායකත්වයට

22th Commonwealth Table Tennis Championships

1
22th Commonwealth Table Tennis Championships

22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය මේස පන්දු ශූරතාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායම් පසුගියදා නම් කෙරුණ අතර එහි පිරිමි කණ්ඩායමේ නායකත්වය චමීර ගිනිගේ වෙත ද සහ කාන්තා කණ්ඩායමේ නායකත්වය බිමන්දි බණ්ඩාර වෙත ද හිමි වී තිබෙනවා.

මේ මස 27 වැනිදා සිට ඉන්දියාවේ Delhi හී Thyagraj ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා රටවල් 25කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත බව පැවැසෙන අතර තරගාවලිය අගෝස්තු මස 2 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර මෙම තරගාවලිය පැවැත්වෙන්නේ වසර 7කට පසුව වීම විශේෂත්වයක් වන අතර අවසන් වරට මෙම තරගාවලිය පැවැත්වී ඇත්තේ 2019 වසරේදීයි. එම වසරේ දී පිරිමි ඒකල, කාන්තා ඒකල, පිරිමි සහ කාන්තා යුගල මෙන් ම මිශ්‍ර යුගල යන ඉසව් 7 ම ශූරයන් බවට පත් වූයේ ඉන්දියාවයි.

ඔවුන් මෙම තරගාවලිය සඳහා සත්කාරකත්වය දක්වන 8 වන අවස්ථාව මෙය වන අතර මෙන් ම පිට පිට ම සත්කාරකත්වය දක්වන සිව් වැනි අවස්ථාව ද මෙයයි.

මෙම තරගමාලාවේ ශ්‍රී ලංකා ඉතිහාසයේ දැක් වූ ඉහළ ම දක්ෂතා ලෙසින් සටහන් වෙන්නේ 2015 වසරේ දී පෑ දක්ෂතාවනුයි. එහි දී කාන්තා කණ්ඩායම 5 වැනි ස්ථානයත් සහ පිරිමි කණ්ඩායම 7 වැනි ස්ථානයත් ලබා ගනිමින් තරගාවලිය නිමා කළා.

මෙවර පිරිමි කණ්ඩායමේ නායකත්වයට පත් චමීර ගිනිගේ 2015 තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන අතර මෙවර නිමා වූ ජාතික කනිෂ්ඨ මේස පන්දු ශූරතාවලියේ ශූරයා ලෙසින් අභිෂේක ලැබූ අකේන් බෝජිත් ද සහ ශූරිය ලෙසින් අභිෂේක ලැබූ ටමාදි කවින්ද්‍යා ද මෙම තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ ලේකම් සවීන් සේමගේ මහතා ද විශේෂ ආරාධනාවක් මත සහභාගී වීමට නියමිතයි.

තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායම්

  • මේස පන්දු පිරිමි කණ්ඩායම

චමීර ගිනිගේ (නායක – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය), චනුල් දුල්සේන් (Next Gen Academy), නිමේෂ් රංචාගොඩ (Sysco LABS Sri Lanka), තිසස් රංචාගොඩ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව), අකේන් බෝජිත් වියන්දූව (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ).

  • මේස පන්දු කාන්තා කණ්ඩායම

බිමන්දී බණ්ඩාර (නායිකාව – College of Chemical Sciences), ටමාදි කවින්ද්‍යා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ), යෝශිනි ජයවර්ධන (මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර), දිව්‍යා චන්ද්‍රගුප්ත (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), ශමල්ෂා දෙව්මි (සිරි කුරුස විද්‍යාලය, ගම්පහ).

  • නිලධාරීන්

චමින්ද රොද්‍රිගෝ (පුහුණුකරු), ශමිලා මනෝජිකා (කාන්තා පුහුණුකාරිනී), නාමල් ගුණසේකර (කළමණාකරු)

දෙස්, විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<