ලකුණු වර්ෂාවකින් පසුව තරගය නිම වෙයි

India Under-19s tour of Sri Lanka

5
India Under-19s tour of Sri Lanka

සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති පළමු සිව් දින යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (16) විසඳුමකින් තොරව අවසන් වුණා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 424ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඉන්දීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 576ක් ලබා ගත්තා. තරගය අවසන් වන විට 2 වැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 178ක් ලබා සිටියා.

මෙම තරගයේ දී දෙපිලේ ම ක්‍රීඩකයෝ එක් ව ලකුණු 1178ක් ලබා ගත්තා.

අද තරගය ආරම්භ වෙද්දී ඉන්දීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 378ක් ලබා සිටියා. ඒ වෙද්දී Lakshya Raichandani නොදැවී ලකුණු 196ක් ද සහ Kush Patel නොදැවී ලකුණු 3ක් ද ලබා සිටියා.

දිනයේ වැඩි වේලාවක් ගත නොවී Lakshya Raichandani තම ද්විත්ව ශතකය වාර්තා කළ අතර දිනයේ පළමුවෙන් දැවී ගිය ක්‍රීඩකයා බවට පත් වූයේ ද ඔහුයි. ඔහු දැවී යන විට පන්දු 324කට මුහුණ දෙමින් හතරේ පහර 22ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 207ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසෙන්නේ Manav Krishna. ඔහු හා එක් වූ Kush Patel 5 වැනි කඩුල්ලට පන්දු 107ක දී ලකුණු 62ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Kush Patel ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා.

Manav Krishna ඉනිමේ අවසන් කඩුල්ලට දැවී යද්දී පන්දු 153කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 100ක් ලබා සිටියා. ඊට අමතර ව BK Kishore ද පන්දු 81කට මුහුණ දෙමින් ලකුණු 23ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ලතේන්ද්‍ර ආකාශ් ලකුණු 66කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව කවිජ ගමගේ සහ දිමත් අබේසිංහ කඩුලු ද්විත්වය බැගින් ද සහ රමිරු පෙරේරා, දුල්නිත් සිගේරා සහ චාමික හීනටිගල කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 152ක් පිටු පස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ එම ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. කෙසේ වෙතත් එම ඉනිම අර්ධ ශතක ඉනිම් එක් කිරීමට දුල්නිත් සිගේරා සහ කවිජ ගමගේ සමත් වුණා.

එහි දී දුල්නිත් සිගේරා පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 72ක් ද සහ කවිජ ගමගේ පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ද ලබා ගත්තා. තරගය නිමා වන විට චාමික හීනටිගල පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 21ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් පිට දඟ පන්දු යැවූ Yashbardhan Chauhan ලකුණු 49කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Pranav Ragavendra සහ BK Kishore කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 424 (106.4)සෙනුජ වැකුණගොඩ 233, විමත් දින්සර 52, කවිජ ගමගේ 49, චාමික හීනටිගල 45, ඔෂද මනහර නොදැවී 31, Kavya Paresh Patel2/67, Jeganathan Hemchudeshan 3/107, Priyanshu Singh 2/66
  • ඉන්දීයවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– පළමු ඉනිම සියලුම දෙනා දැවී 576 (173.5) Lakshya Raichandani 207, Sagar Virk 134, Kushagra Ojha 24, Kush Patel 42, Manav Krishna 100, BK Kishore 23, ලතේන්ද්‍ර ආකාශ් 3/66, කවිජ ගමගේ 2/117, දිමත් අබේසිංහ 2/142
  • ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 178 (39.1)දුල්නිත් සිගේරා 72, කවිජ ගමගේ 51, චාමික හීනටිගල නොදැවී 21, Yashbardhan Chauhan 4/49

තරගයේ විසඳුමක් නෑ.

දෙරට අතර පැවැත්වෙන 2 වැනි සිව්දින යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 20 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ තවත් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත්ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<