24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරගාවලිය නිවේදනය කෙරේ

24th DSI SUPERSPORTS Volleyball Championship 2026

7
Volleyball

ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදකයා වන DSI ආයතනය, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ අධ්‍යාපන අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සමඟ අත්වැල් බැඳ ගනිමින් 24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරගාවලිය මෙවරත් පැවැත්වීමට නියමිත බව පසුගිය 28 වැනි දා නිවේදනය කළා.

කොළඹ 07 ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හෝටලයේ පැවති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශයට පත් කළ අතර, මෙම වසරේ තරගාවලියට මුලු දිවයිනම ආවරණය වන අයුරින් පාසල් වොලිබෝල් කණ්ඩායම් 3500ක් පමණ සහභාගී වනු ඇතැයි සංවිධායකයින් අපේක්ෂා කරනවා.

ගමේ සහ නගරයේ පාසල් කේන්ද්‍ර කර ගනිමින් වොලිබෝල් ක්‍රීඩාවේ යෙදී සිටින දක්ෂ දරු දැරියන්ගේ ක්‍රීඩා කුසලතා ඔප් නංවමින්, ඔවුන් ජාතික තලයට ඔසවා තැබීමට DSI ප්‍රධානත්වයෙන් 1999 වර්ෂයේ දී ආරම්භ කළ DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකා වොලිබෝල් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දියුණුවකට මඟ හෙළි කළ සංධිස්ථානයක් ලෙසයි හඳුනා ගන්නේ.

මෙම තරගාවලිය ආරම්භයේ දී කණ්ඩායම් 200ක් පමණ ප්‍රමාණයක් තරඟ වැදුණු අතර, එදා සිට මේ දක්වා තරගාවලිය මඟින් දේශීය ක්‍රීඩා ක්ෂේත්‍රයට දක්ෂ ක්‍රීඩා තරු 400කට ආසන්න ප්‍රමාණයක් හඳුන්වා දී ඇති බවයි සඳහන් වන්නේ.

“ශ්‍රී ලංකාවේ පාසල් වොලිබෝල් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් DSI SUPERSPORT පාසල් වොලිබෝල් ශූරතාවලිය අඛණ්ඩව සුවිශේෂී මෙහෙවරක් ඉටු කරමින් ඉන්නවා. දේශීය ක්‍රීඩාවන් නංවාලීම වෙනුවෙන් කැපවුණු සන්නාමයක් විදියට, තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ දක්ෂතාවන් ඔප්නැංවීමට අවශ්‍ය අවස්ථාවන් නිර්මාණය කිරීමට අපි නිරන්තරයෙන් බැඳී ඉන්නවා. තරුණ දක්ෂතා අගය කරනවා විතරක් නෙමෙයි, ක්‍රීඩාවේ දිගු කාලීන වර්ධනයට මනා පිටුවහලක් වන මේ වගේ වේදිකාවක් සකසා දෙන්න හැකි වීම පිළිබඳ ව අපි ආඩම්බර වෙනවා.”

මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ ඩී. සැම්සන් ඇන්ඩ් සන්ස් (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා විසින් තරගාවලිය පිළිබඳ එසේ සිය අදහස් පළ කළා.

එමෙන්ම මෙම වැඩසටහනේ මූලික පදනම වන්නේ දරුවන් කෙරෙහි DSI ආයතනය සතු කැපවීම බව සහ වගකිවයුතු දේශීය සන්නාමයක් ලෙස තරුණ ක්‍රීඩකයන්ට අවශ්‍ය මග පෙන්වීම සහ දිරිගැන්වීම ලබා දෙමින් ඔවුන්ගේ උපරිම දක්ෂතාව කරා මෙහෙයවීම බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

වයස අවුරුදු 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ යන වයස් කාණ්ඩ යටතේ බාලක සහ බාලිකා වශයෙන් මෙවර DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරගාවලිය පැවැත්වීමට නියමිත අතර, එම තරග තරඟ දිස්ත්‍රික් සහ ජාතික මට්ටමේ තරඟ ලෙස පැවැත්වෙනු ඇති.

දිස්ත්‍රික් තරඟ ජුනි 10 සිට අගෝස්තු 10 දක්වා සති අන්තවල ද, ජාතික මට්ටමේ තරඟ ඔක්තෝබර් 1 වෙනිදා සිට 5 වෙනිදා දක්වා  සහ අතිරේක තරඟ ඔක්තෝබර් 15 සිට 19 දක්වා ද පැවැත්වීමට නියමිතයි. එමෙන්ම තරගාවලියේ අවසන් මහා තරඟ නොවැම්බර් මස 14 සහ 15 දෙදින පුරා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

DSI SUPERSPORT වොලිබෝල් තරගාවලිය සඳහා ඇතුළත් වීමේ අයදුම්පත් දිවයින පුරා සියලුම කලාප ක්‍රීඩා අධ්‍යක්ෂක, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක හරහා ලබාගත හැකි අතර, ඊට අමතරව ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ නිල ෆේස්බුක් පිටුවෙන් ද, DSI SUPERSPORT නිල ෆේස්බුක් පිටුවේ ඇති QR කේතය Scan කිරීමෙන් හෝ නිල AVI වෙබ් පිටුව වන (https://avi.lk/volleyball/) හරහා ද මෙම අයැදුම් පත්‍රය බාගත කර ගත හැකි.

එමෙන්ම 011-2669344 අංකය ඇමතීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකි අතර, ඊට අමතරව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ දිස්ත්‍රික් 25 නිලධාරීන් වෙතින්, 0718014414 අංකයෙන් පාසල් වොලිබෝල් සංගමයේ ලේකම් චාල්ස් තිලකරත්න මහතා ඇමතීමෙන් හෝ [email protected] ඊ-මේල් ලිපිනය මඟින්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් වින්ග් කමාන්ඩර් H.K අකිල ද අල්විස් මහතා වෙත ඊ-මේල් ලිපියක් යොමු කිරීමෙන් ද ලබා ගත හැකි.

DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරගාවලිය සඳහා සම්පූර්ණ කළ අයදුම්පත් 2026 මැයි 20 දින හෝ ඊට පෙර අදාළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) වෙත ඉදිරිපත් කළ යුතුයි.

DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>