ඉතිහාසයේ හොඳම දක්ෂතා සමඟ ශ්‍රී ලංකාව ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට සමු දෙයි!

Asian Beach Games 2026

6
Asian Beach Games 2026

06 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල අද (30) දිනයෙන් නිමාවට පත් වනවා.

මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙරළ ක්‍රීඩා උළෙලක දැක් වූ හොඳම දක්ෂතාව දැක්වීමට මෙවර සමත් වූ අතර, මෙවර රටවල් 45ක් අතුරින් ශ්‍රී ලංකාව 10 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනේ එක් රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් 4ක් සමඟ සමස්ත පදක්කම් 07ක් හිමි කර ගනිමිනුයි.

වෙරළ ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ඉතිහාසය

වසර 10ක දිගු නිහැඬියාවකින් පසුව නැවත ආරම්භ වූ මෙම ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සහභාගීත්වය සහ පදක්කම් ලබා ගැනීම පිළිබඳ විස්තරය සැකෙවින්:

  • 2016 – ලෝකඩ පදකක්කම් දෙකක් සමඟ 33 වැනි ස්ථානය
  • 2014 – ලෝකඩ පදක්කම් දෙකක් සමඟ 35 වැනි ස්ථානය
  • 2012 – ලෝකඩ පදක්කම් දෙකක් සමඟ 17 වැනි ස්ථානය
  • 2010 – කිසිදු පදක්කමක් දිනා ගැනීමට නොහැකි විය
  • 2008 – කිසිදු පදක්කමක් දිනා ගැනීමට නොහැකි විය

මේ අනුව බැලූ කළ ශ්‍රී ලංකාව විසින් මෙවර වෙරළ ක්‍රීඩා උළෙලේ දී එතෙක් ඉතිහාසයේ සහභාගී වූ වෙරළ ක්‍රීඩා උළෙල පහේ දී ලබා ගත් පදක්කම් එකතුවට වඩා පදක්කම් ලබා ගැනීමට සමත් වී ඇති අතරම, ඉතිහාසයේ පළමු රිදී සහ රන් පදක්කම් ජය ගැනීමට ද සමත් වීම විශේෂත්වයක්.

ඉතිහාසය වෙනස් කළ රන් සහ රිදී පදක්කම්!

නිපුනි වාසනා විසින් මෙවර ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් ඉසව්වේ දී කාන්තා 50kg බර පන්තිය මල්ලව පොර ඉසව්වට සහභාගී වෙමින් රන් පදක්කමක් ජය ගැනීමට සමත් වුනා.

ඉසව්වේ අවසන් තරගයේ දී ඇය විසින් වියට්නාම් ක්‍රීඩිකාව 2-1ක් ලෙස පරාජය කිරීමට සමත් වූ අතර, එය ශ්‍රී ලංකාව මල්ලව පොර ක්‍රීඩාවෙන් ආසියානු මට්ටමේ දී ලැබූ පළමු රන් පදක්කම ලෙස ද වාර්තා අතරට එක් වුනා.

ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම මෙවර ක්‍රීඩා උළෙලේ කබඩි ඉසව්වේ රිදී පදක්කම ජය ගැනීමට සමත් වුනා. ඔවුන් ඉසව්වේ අවසන් තරගයේ දී ඉන්දියාව හමුවේයි පරාජය වුනේ.

රිදී පදක්කම ජය ගත් කාන්තා කණ්ඩායම් සාමාජිකාවන් මෙසේයි;

මදුරිකා හංසමාලි, කජෙන්තිනී රාසා, ශානිකා සුදර්ශනී, හංසිකා කුමුදිනී, දිලුක්ෂනා විමලෙන්තිරන් සහ ප්‍රියවර්ණා රාසදුරෙයි 

මේ අතර ශ්‍රී ලංකාව දිනූ අනෙක් රිදී පදක්කම කාන්තා දුර පැනීම ඉසව්වෙන් හිමි වූ අතර, ඉෂාරා සමන්මලී විසින් කාන්තා දුර පැනීම ඉසව්වෙන් මීටර් 5.87ක දුරක් තරණය කරමින් මෙම රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

ලෝකඩ පදක්කම් හතර

කබඩි පිරිමි ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඉසව්වේ ලෝකඩ පදක්කම ජය ගැනීමට සමත් වුනා.

ලෝකඩ පදක්කම දිනූ ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායම:

මිලින්ද චතුරංග, සමින්ද සන්තූස, ඩිලාන් සංජය, රුවන් සමරකෝන්, මොහොමඩ් අන්සාෆ් සහ ආභිත් අඛාර්

මේ අතර කාන්තා දුර පැනීම ඉසව්ව නියෝජනය කළ සශිකලා ලංකාතිලක විසින් මීටර් 5.83ක දුරක් තරණය කරමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම ද ජය ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකා පිරිමි සහය දිවීමේ කණ්ඩායම විසින් තවත් ලෝකඩ පදක්කමක් ලබා ගැනීමට සමත් වූ අතර, එහි දී මලිත් තරුශාන්, සඳුන් දියලවත්ත, මනුජ ප්‍රභාශ් සහ මලිත් තමෙල් යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙරළ ධාවන පථයට ප්‍රවිෂ්ට වුනා.

මේ අතර ශ්‍රී ලංකාව දිනූ අනෙක් ලෝකඩ පදක්කම ද දුර පැනීම ඉසව්වෙන් හිමි වූ අතර, එහි පිරිමි අංශයේ ලෝකඩ පදක්කම ජයත්‍ර සම්පත් විසින් හිමි කර ගැනීමට සමත් වුනා.

නූලෙන් ගිලිහුණු පදක්කම්

ශ්‍රී ලංකා කාන්තා මීටර් 60 සහය දිවීමේ කණ්ඩායම ඉසව්වේ සිව්වැනි ස්ථානයට පත් වෙමින් ලෝකඩ පදක්කම ආසන්නයට පැමිණියා.

එමෙන්ම කාන්තා යගුලිය විසි කිරීම ඉසව්වට සහභාගී වූ ඔවිනි චන්ද්‍රසේකර ඉසව්වේ පස් වැනියා ලෙස තරගය නිමා කළ අතර, කාන්තා උස පැනීම ඉසව්ව නියෝජනය කළ සමාධි වීරසිංහ 06 වැනි ස්ථානයත්, පිරිමි මීටර් 60 අවසන් තරගය නියෝජනය කළ මලිත් තමෙල් 06 වැනි ස්ථානයත් ලබා ගනිමින් පදක්කම් බලාපොරොත්තු ආසන්නයට ම පැමිණියා.

සමස්ත පදක්කම් සටහන

මෙවර ක්‍රීඩා උළෙලේ ජය ලබා ගැනීමට ප්‍රබල චීනය සමත් වුනේ රන් පදක්කම් 24ක් සමඟ සමස්ත පදක්කම් 55ක් එක් කර ගනිමිනුයි.

මේ අතර පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය රන් පදක්කම් 10ක් දිනු තායිලන්තය විසි හිමි කර ගනිද්දී, ඔවුන්ට ප්‍රබල සටනක් ලබා දුන් ඉරානය රන් පදක්කම් 09ක් සමඟ තෙවැනි ස්ථානයට පත් වුනා.

මෙම රටවල් ත්‍රිත්වය හැරුණු කොට වෙනත් එකදු රටක් හෝ රන් පදක්කම් ත්‍රිත්වයකට වැඩියෙන් ජය ගැනීමට සමත් නොවූ අතර, දකුණු ආසියාවේ ප්‍රබලයා වන ඉන්දියාව රන් පදක්කම් තුනක් සමඟ සමස්ත පදක්කම් 06ක් ලබමින් හය වැනි ස්ථානයට පත් උනා.

ඒ අයුරින් 2026 වෙරළ ක්‍රීඩා උළෙල සාර්ථකව අවසන් වූ අතර, ශ්‍රී ලංකාව ද ඉතා විශිෂ්ට දක්ෂතා දක්වමින් මෙවර වෙරළ ක්‍රීඩා උළෙල වෙනුවෙන් සාර්ථක නිමාවක් සනිටුහන් කළා.

2026 වෙරළ ක්‍රීඩා උළෙලේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කළ අයුරින් ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

Cover Image Credit – National Olympic Committee Of Sri Lanka Official Facebook Page

>> තවත් විශේෂාංග ලිපි සඳහා  පිවිසෙන්න <<