නවසීලන්තය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

ICC Men's T20 World Cup 2026

4
ICC Men's T20 World Cup

10 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ආසන ද්විත්වයෙන් පළමු ආසනය වෙන් කර ගන්නේ නවසීලන්ත කණ්ඩායමයි.

ඔවුන් මෙම ජයග්‍රහණය ලබා ගන්නේ මෙතෙක් තරගාවලියේ අපරාජිතයන් ව සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ පරාජය කරමිනුයි. Kolkata හී Eden Gardens ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම පළමු අවසන් පූර්ව තරගයේ දී ඔවුන් ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට එරෙහි ව කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම අවස්ථාව සපුරා ගන්නවා.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරන නවසීලන්ත ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන් සතු කරන අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 169ක් ලබා ගන්නවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ Marco Jansen. ඔහු දකුණු අප්‍රිකානු ඉනිම අවසන් වන විට පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 55ක් ලබා සිටියා. එය ඔහුගේ තරග 30ක් වන විස්සයි විස්ස තරග දිවියේ හොඳම ඉනිමයි.

ලකුණු 77කට කඩුලු 5ක් දැවී ගොස් තිබිය දී 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක සබඳතාවක් ගොඩ නැගීමට ද ඔහුගේ එම ඉනිම දායකත්වය දක්වනවා. එහි දි Tristan Stubbs පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී Matt Henry, Cole McConchie සහ Rachin Ravindra කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නා ලද අතර ඊට අමතර ව Lockie Ferguson සහ  James Neesham කඩුල්ල බැගින් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම ආරම්භ කළ නවසීලන්ත කණ්ඩායමේ Tim Seifert සහ Finn Allen  ප්‍රතිවාදීන් සසළ කරමින් තම පළමු කඩුල්ලට පන්දු 55ක දී ලකුණු 117ක සබඳතාවක් එක් කරනවා. එම සබඳතාව බිඳි යන්නේ Tim Seifert ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු තම ඉනිම හැර යන විට පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 58ක් ලබා සිටියා. එය ඔහුගේ විස්සයි විස්ස තරග දිවියේ 16 වැනි අර්ධ ශතකයයි.

නවසීලන්ත ඉනිමේ තවත් පන්දු 43ක් ද ඉතිරි කර ගනිමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමේ දී Finn Allen තම තරග 61ක් වූ විස්ස විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 3 වැනි ශතකය වාර්තා කරමින් පන්දු 33ක දී හතරේ පහර 10ක් සහ හයේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගන්නවා. ඔහුගේ අර්ධ ශතකය පන්දු 19ක දී වාර්තා වූ අතර ශතකය සඳහා වාර්තා වූයේ පන්දු 33ක් පමණයි. එය විස්සයි විස්ස ලෝක කුසලාන ප්‍රධාන තරගාවලියක දී වාර්තා වූ වේගවත් ම ශතකය බවට ද පත් වූවා.

තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී ඔහුත් සමඟින් අනෙක් අන්තයේ රැඳී සිටි Rachin Ravindra පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 13ක් ලබා සිටියා.

නවසීලන්ත ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය Kagiso Rabada සතු වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • දකුණු අප්‍රිකාව – කඩුලු 8ක් දැවී 169 (20.0) Dewald Brevis 34, Tristan Stubbs 29, Marco Jansen 55, Matt Henry 2/34, Cole McConchie 2/09, Rachin Ravindra 2/29
  • නවසීලන්තය – කඩුල්ලක් දැවී 173 (12.5) Tim Seifert 58, Finn Allen නොදැවී 100

නවසීලන්ත කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

තරගයේ වීරයා – Finn Allen (නවසීලන්තය)

තරගාවලියේ 2 වැනි අවසන් පූර්ව තරගය මාර්තු මස 5 වැනිදා ඉන්දියාව සහ එංගලන්තය අතර Mumbai හි Wankhede ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සජීවී තරග අත්දැකීම ද ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<