කොදෙව්වෝ, සිම්බාබ්වේට එරෙහි ව ගිනිකෙළි හරඹයක

ICC Men's T20 World Cup 2026

2
ICC Men's T20 World Cup

Shimron Hetmyer සහ Rovman Powell එක් ව

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ කණ්ඩායමක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවන් අතර 2 වැනි තැනට පත් ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ 10 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ව ලකුණු 107ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

මෙම තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ ඉනිමට හයේ පහර 19ක් සහ හතරේ පහර 8ක් වාර්තා වූ අතර ඔවුන් විසින් වාර්තා කරන ලද ලකුණු 254 මෙවර තරගාවලියේ මෙතෙක් වාර්තා වූ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

>>ශ්‍රී ලංකාව සිය පළමු ජය එංගලන්තයට පූජා කරයි!<<

 44 වැනි තරගය (රාත්‍රී), Super 8s, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ අතර

Mumbai හී Wankhede ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකණු 254ක් ලබා ගන්නවා.

එම  ඉනිමේ ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසි Brandon King (9) සහ නායක Shai Hope එක් ව ලකුණු 17ක් එක් කළ අතර ඊට අනතුරු ව Shai Hope (14) සහ Shimron Hetmyer එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 37ක සබඳතාවක් එක් කරනවා.

අනතුරු ව 3 වැනි කඩුල්ලේ දී ඉනිමේ වැඩිම ලකුණු සබඳතාව එක් කරන්නට Shimron Hetmyer සහ Rovman Powell සමත් වුණා. එහි දී පන්දු 19කින් හතරේ පහර 4ක් සහ හයේ පහර 6ක් එක් ව තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ 9 වැනි අර්ධ ශතකය වාර්තා කළ Shimron Hetmyer ඉනිමේ එම කඩුල්ලේ සබඳතාව අවසන් කරමින් දැවී යන විට පන්දු 34කට මුහුණ දෙමින් හයේ පහර 7ක් සහ හතරේ පහර 7ක් ද සමඟින් ලකුණු 85ක් ලබා සිටියා. එය ඔහුගේ විස්සයි විස්ස තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වූවා.

Rovman Powell ඉනිමේ සිව් වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 59ක් ලබා සිටියා.

ඔවුන්ට අමතර ව Romario Shepherd පන්දු 10ක දී හයේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත් අතර ඉනිම අවසන් වන විට Sherfane Rutherford පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී , Richard Ngarava සහ Blessing Muzarabani කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර Graeme Cremer සහ Brad Evans අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සිම්බාබ්වේ ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 20ක් වෙද්දී දැවී යෑමත් සමඟින් ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල වෙනවා. නැවතත් ඔවුන්ගේ ඉනිමේ 6 වැනි කඩුල්ලේ සිට 9 වැනි කඩුල්ල දක්වා වු කඩුලු 4 ලකුණු 9ක දී දැවී යනවා.

එලෙසින් අසාර්ථක වූ එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Brad Evans. ඔහු පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තා. ඊට අමතර ව Dion Myers පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ද සහ නායක Sikandar Raza පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී වමතින් දඟ පන්දු යවන Gudakesh Motie ලකුණු 28කට කඩුලු 4ක් දවා ගත්තා. එය ඔහුගේ 49ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ හොඳම පන්දු යැවීමයි.

ඔහුට අමතර ව Akeal Hosein කඩුලු 3ක් ද සහ Matthew Forde කඩුලු 2ක් ද සහ Jason Holder කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 6ක් දැවී 254 (20.0) Shimron Hetmyer 85, Rovman Powell 59, Sherfane Rutherford 31. Romario Shepherd 21, Richard Ngarava 2/47, Blessing Muzarabani 2/42
  • සිමබ්බාවේ – සියලුම දෙනා දැවී 147 (17.4) Dion Myers 28, Sikandar Raza 27, Brad Evans, Akeal Hosein 3/28, Matthew Forde 2/27, Gudakesh Motie 4/28

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 107ක ජයක්.

තරගයේ වීරයා – Shimron Hetmyer (බටහිර ඉන්දීය කොදෙව්)

තරගයේ වීරයා –

තරගාවලියේ අද (24) පැවැත්වෙන තරගය

  • රාත්‍රී 7.00 ට එංගලන්තය සහ පාකිස්තානය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සජීවී තරග අත්දැකීම ද ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<