සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් (20දා) පැවැති පළමු තරගයෙන් ලකුණු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
St George’s හී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සත්කාරක නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා.
ඒ අනුව ඔවුන්ගේ ඉනිම පන්දුවාර 50 අවසන් වෙද්දී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 240ක් බවට පත් වෙනවා. මෙම ලකුණු සංඛ්‍යාව දෙරට එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාවන් අතර 3 වැනි ස්ථානයට ලැයිස්තු ගත වෙනවා.
>>ශ්‍රී ලංකාවට එරෙහි Matthews ගේ කොදෙව් බල ඇණිය<<
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ හසිනි පෙරේරා සහ නායිකා චමරි අතපත්තු එක් ව පළමු කඩුල්ලට පන්දු 72ක දී ලකුණු 49ක සබඳතාවක් එක් කරනවා. චමරි අතපත්තු පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
අනතුරු ව හසිනි පෙරේරා ට එක් වෙන්නේ හර්ෂිතා සමරවික්‍රම. ඔවුන් දෙදෙනා එක් ව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන්ට එරෙහි ව 2 වැනි කඩුල්ලට පන්දු 117ක දී ලකුණු 86ක සබඳතාවක් ගොඩ නගනවා.
ඒ අතර කාලයේ දී තම එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ 2 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට හසිනි පෙරේරා සමත් වෙනවා. ඇය ඉනිමේ 2 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 61ක් ලබා සිටියා.
අනතුරු ව 3 වැනි කඩුල්ලට පන්දු 63ක දී ලකුණු 50ක සබඳතාවක් එක් කිරීමට හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂිකා සිල්වා සමත් වෙනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ හර්ෂිතා සමරවික්‍රම ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 66ක් ලබා සිටියා. එය ඇය ගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 6 වැනි අර්ධ ශතකයයි.
ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ පන්දුවේ දී නිලක්ෂිකා සිල්වා ද දැවී යනවා. ඇය දැවී යන විට පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා සිටියා.
ඉන් අනතුරු ව කවිශ්කා දිල්හාරි පන්දු 21ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ද සහ දෙව්මි විහංඟා පන්දු 6ක දී හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 14ක් ද ලබා ගත් අතර ඉනිම අවසන් වන විට විශ්මි ගුණරත්න පන්දු 20කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 16ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Hayley Matthews සහ Karishma Ramharack කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව Deandra Dottin සහ Aaliyah Alleyne කඩුල්ල බැගින් බෙදා ගත්තා.
- ශ්‍රී ලංකා යෞවනීයෝ නැගී එන තරගාවලිය අවසන් කරයි
- ශ්‍රී ලාංකිකයින්ගේ ‘පැතුම්’ නිස්සංක ඉටු කරයි!
- වනිඳුට ලෝක කුසලානය අහිමි වෙයි!
- Plate ශූරතාව දිනූ ඇතුල්ගල්පුර වීරයෝ
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් ඉනිම ආරම්භ කරන්නේ තම 100 වැනි එක්දින ජාත්‍යන්තර තරගයට එක් වූ නායිකා Hayley Matthews සමඟ Qiana Joseph. ඔවුන් දෙදෙනාට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉඩ ලබා දුන්නේ නැහැ.
8 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙද්දී ඔවුන්ට නැවත ක්‍රීඩා විවේකාගාරය වෙත යැවෙන අතර ශතක තරගයේ දී Hayley Matthews ට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 13ක් පමණයි.
එලෙසින් ආරම්භ වූ බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වන්නේ Stafanie Taylor. ඇය පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 66ක් ලබා ගන්නවා. මෙම ඉනිම ඇයගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 42 වැනි අර්ධ ශතක ඉනිමයි.
ඇය මෙම ඉනිමේ දී 22 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකාරිනීයක වූ Jannillea Glasgow ද එක් කර ගනිමින් 6 වැනි කඩුල්ලට ලකුණු 89ක සබඳතාවක් ගොඩ නගමින් බටහිර ඉන්දීය කොදෙව් ලකුණු පුවරුව තරගකාරී මට්ටමකට ගෙන එනවා. නමුත් 169 වැනි ලකුණ ලකුණු පුවරුවට පැමිණෙද්දී, දුවද්දී දැවී යෑමකට ගොදුරු වෙමින් ඇයට තම ඉනිම හැර යන්නට සිදු වෙනවා.
එතැන් සිට කොදෙව් ඉනිමට තවත් ලකුණු 13ක් එක් වෙද්දී Jannillea Glasgow ද දැවී යනවා.
තම 10 වැනි එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගී වූ Jannillea Glasgow ඉනිම හැර යන්නේ තම තරග දිවියේ මංගල අර්ධ ශතකය ද ලබා ගනිමිනුයි. ඇය දැවී යන විට පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 50ක් ලබා සිටියා.
බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ සියලුම දෙනා ලකුණු 230කට දැවී යද්දී Aaliyah Alleyne පන්දු 29ට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ඉනෝකා රණවීර ලකුණු 44කට කඩුලු 4ක් දවා ගනිමින් කොදෙව් ඉනිමේ ප්‍රධාන ප්‍රතිවාදී පන්දු යවන්නිය බවට පත් වෙද්දී කවිෂා දිල්හාරි කඩුලු 3ක් ද, දෙවිම් විහංඟා සහ මල්කි මදාරා කඩුල්ල බැගින් ද දවා ගත්තා.
මෙම තරගයේ දී කණ්ඩායම් ද්විත්වය එක් ව ලකුණු 470ක් ලබා ගන්නා ලද අතර එය ශ්‍රී ලංකා – කොදෙව් කාන්තා එක්දින තරග ඉතිහාසයේ කණ්ඩායම් ද්විත්වය එක් ව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවන් අතර 2 වැනි ස්ථානයට පත් දක්ෂතාව බවට පත් වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 240 (50.0) හසිනි පෙරේරා 61, චමරි අතපත්තු 27, හර්ෂිතා සමරවික්‍රම 66, නිලක්ෂිකා සිල්වා 22, කවිෂා දිල්හාරි 22, Hayley Matthews 2/46, Karishma Ramharack 2/57
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 230 (49.4) Stafanie Taylor 66, Jannillea Glasgow 50, Aaliyah Alleyne නොදැවී 24, ඉනෝකා රණවීර 4/44, කවිශා දිල්හාරි 3/49
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 10ක ජයක්.
- තරගයේ දක්ෂත ම ක්‍රීඩිකාව – ඉනෝකා රණවීර (ශ්‍රී ලංකාව)
තරගාවලියේ 2 වැනි එක්දින ජාත්‍යන්තර තරගය පෙබරවාරි 22 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















