පන්දු යවන්නෝ දිනය වෙන්කර ගනී

ICC Men's T20 World Cup 2026

6
ICC Men's T20 World Cup 2026

10 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 3ක් ඊයේ (9) අවසන් වූ අතර එහි දී ස්කොට්ලන්තය, සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකාව ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුණා.

නිමා වූ එම තරගවල දී වැඩි දක්ෂතා දැක්වීමට පන්දු යවන්නෝ සමත් වීම කැපී පෙණුණා. එහි දී ස්කොට්ලන්තයේ දකුණතින් පිට දඟ පන්දු යවන Michael Leask තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වීම ද කැපි පෙණුනා.

7 වැනි තරගය, Group C, ස්කොට්ලන්තය සහ ඉතාලිය අතර

Kolkata හී Eden Gardens ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉතාලි නායකයාගේ තීරණය වූයේ පළමුවෙන් පන්දු යැවීමයි.

ඒ අනුව පිටියට පිවිසි ස්කොට්ලන්ත පිතිකරුවෝ කඩුලු 4ක් දැවී ලකුණු 207ක් ලබා ගන්නවා. ඊට පිළිතුර ඉනිමට පිටියට පිවිසි ඉතාලි ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 134ක් පමණයි.

ඒ අනුව ලකුණු 73ක ජයග්‍රහණයක් ලබා ගත් ස්කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු George Munsey. ඔහු පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 84ක් ලබා ගන්නවා.

ඔහු Michael Jones සමඟ එක් ව පළමු කඩුල්ලට පන්දු 83ක දී ලකුණු 126ක සබඳතාවක් ද එක් කරනවා. එහි දී Michael Jones පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් ලබා ගන්නවා.

ඊට අමතර ව ස්කොට්ලන්ත ඉනිම අවසන් වන විට Brandon McMullen පන්දු 18කට මුහුණ දෙමින් හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී දැවී ගිය කඩුලු 4 පන්දු යවන්නන් සිව් දෙනෙක් අතරේ බෙදී ගියා.

ප්‍රතිවාදී ඉතාලි ඉනිමේ වැඩි ම ලකුණුලාභියා වූයේ Ben Manenti. ඔහු පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා ගන්නවා. ඊට අමතර ව   Harry Manenti පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව සිව් වැනි කඩුල්ලට ලකුණු 73ක සබඳතාවක් ද එක් කරනවා.

කඩුලු දවා ගැනීමේ දී Michael Leask ලකුණු 17කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Mark Watt කඩුලු 2ක් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ස්කොට්ලන්තය – කඩුලු 4ක් දැවී 207 (20.0) George Munsey 84, Michael Jones 37, Brandon McMullen නොදැවී 41, Michael Leask නොදැවී 22

 

ඉතාලිය – සියලුම දෙනා දැවී 134 (16.4) JJ Smuts 22, Harry Manenti 37, Ben Manenti 52, Michael Leask 4/17, Mark Watt 2/24

ස්කොට්ලන්ත කණ්ඩායමට ලකුණු 73ක ජයක්.

තරගයේ වීරයා – Michael Leask (ස්කොට්ලන්තය)

8 වැනි තරගය (දිවා/රාත්‍රී), Group B, ඕමානය සහ සිම්බාබ්වේ අතර තරගය

කොළඹ, SSC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඕමාන ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 103ක් පමණයි. එම ඉලක්කය තවත් පන්දු 39ක් ඉතිරි ව තිබිය දී කඩුලු 2ක් පමණක් දැවී සපුරා ගැනීමට සිම්බාබ්වේ ක්‍රීඩකයෝ සමත් වෙනවා.

ජයග්‍රාහී සිම්බාබ්වේ කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු Brian Bennett. ඔහු පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 48ක් ලබා ගන්නවා.

ඊට අමතර ව Brendan Taylor පන්දු 30කට මුහුණ දෙමින් සිටිය දී හදිසියේ ඇති වූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් ව යන විට පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ලබා සිටියා.

ඊට අමතර ව Tadiwanashe Marumani ලබා ගත් ලකුණු සංඛ්‍යාව 21ක්. පන්දු 11කින් වාර්තා වූ එම ඉනිමට හතරේ පහර 5ක් ඇතුලත් වුණා.

සිම්බාබ්වේ ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වය Sufyan Mehmood සතු වුණා.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඕමාන කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 27ක් තුළ දැවී යන අතර ඉන් අනතුරු ව 5 වැනි කඩුල්ලට පන්දු 43ක දී ලකුණු 42ක සබඳතාවක් එක් කිරීමට Vinayak Shukla සහ Sufyan Mehmood සමත් වෙනවා.

ඔවුන් අතුරින් Vinayak Shukla පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත් අතර Sufyan Mehmood පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබා ගන්නවා.

ඊට අමතර ව Nadeem Khan පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Richard Ngarava

තරගයේ කෙටි ලකුණු පුවරුව

ඕමාන – සියලුම දෙනා දැවී 103 (19.5) Sufyan Mehmood 25, Vinayak Shukla 28, Nadeem Khan 20, Richard Ngarava 3/17, Blessing Muzarabani 3/16, Brad Evans 3/18

 

සිම්බාබ්වේ – කඩුලු 2ක් දැවී 106 (13.3) Brian Bennett නොදැවී 48, Tadiwanashe Marumani 21, Brendan Taylor පිටියෙන් ඉවත් වූවා 31, Sufyan Mehmood 2/12

සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

තරගයේ වීරයා – Blessing Muzarabani (සිම්බාබ්වේ)

9 වැනි තරගය (දිවා/රාත්‍රී), Group B, කැනඩාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය                                                                          

Ahmedabad හී Narendra Modi ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කැනඩා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 213ක ලබා ගත්තා.

එම ඉනිමේ පළමු කඩුල්ලේ සිට ම ප්‍රතිවාදීන්ට සාර්ථකව මුහුණ දීමට දකුණු අප්‍රිකා ක්‍රීඩකයෝ සමත් වෙනවා. එහි දී  නායක Aiden Markram සහ Quinton de Kock එක් ව පළමු කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 70ක්.

Quinton de Kock පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.

Aiden Markram, 2 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 59ක් ලබා සිටියා. ඊට අමතර ව Ryan Rickelton පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ද ලබා ගත්තා.

ඉනිම අවසන් වෙද්දී David Miller පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 39ක් ද සහ Tristan Stubbs පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 34ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Ansh Patel ලකුණු 31කට කඩුලු 3ක් ද සහ Dilpreet Bajwa කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කැනඩා ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 156ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ Navneet Dhaliwal. ඔහු පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තා.

ඊට අමතර ව Harsh Thaker පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී Lungi Ngidi ලකුණු 31කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව Marco Jansen කඩුලු 2ක් ද, Corbin Bosch සහ Kagiso Rabada කඩුල්ල බැගින් ද දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

දකුණු අප්‍රිකාව – කඩුලු 4ක් දැවී 213 (19.5) Aiden Markram 59, Quinton de Kock 25, Ryan Rickelton 33, David Miller නොදැවී 39, Tristan Stubbs නොදැවී 34, Ansh Patel 3/31

 

කැනඩාව – කඩුලු 8ක් දැවී 156 (20.0) Navneet Dhaliwal 64, Harsh Thaker 33, Lungi Ngidi 4/31, Marco Jansen 2/30

දකුණු අප්‍රිකා කණ්ඩායමට ලකුණු 57ක ජයක්.

  • තරගයේ වීරයා – Lungi Ngidi (දකුණු අප්‍රිකාව)

විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සජීවී තරග අත්දැකීම ඔබ සමඟ බෙදා හදා ගැනීමට ද ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<