ඉන්දියාව 10 වැනි වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

ICC U 19 Cricket World Cup 2026

3
ICC Men's Under-19 World Cup 2026 - 2nd SF

16 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ 2 වැනි අවසන් පූර්ව තරගයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහි ව කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගත් ඉන්දීය ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

මීට පෙර අවස්ථා 9ක දී අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ගත් ඉන්දීය ක්‍රීඩකයෝ මෙවර එම අවස්ථාව හිමි කර ගන්නේ 10 වැනි වරටයි. එමෙන් ම ඔවුන් මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නේ පිට පිට 6 වැනි වරට වීම ද විශේෂත්වයක්.

Harare ක්‍රීඩා සමාජ පිටියේ දී (4) පැවැති ඇෆ්ගනිස්තානය හා තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉන්දීය ක්‍රීඩකන් මවිත කරන ඉනිමක නිරත වුණා.

එම ඉනිමේ ශතක ද්විත්වයක් වාර්තා වූ අතර එහි දී Faisal Shinozada පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් ලකුණු 110ක් ද සහ Uzairullah Niazai පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 101ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 130ක දී ලකුණු 148ක සබඳතාවක් ගොඩ නැගීමට ද සමත් වෙනවා.

ඔවුන් දෙදෙනාට අමතර ව ආරම්භක පිතිකරු Osman Sadat පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 39ක් ද සහ Khalid Ahmadzai පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ද ලබා ගත්තා.

ඒ අනුව ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 310ක් ලබා ගත්තා.

එම ඉනිමේ කඩුලු දවා ගැනීමේ දී Kanishk Chouhan සහ Deepesh Devendran කඩුලු ද්විත්වයක් බැගින් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ ආරම්භයේ සිට ම ප්‍රහාරාත්මක පිළිවෙතක් අනුගමනය කරනවා. ඔවුන් පළමු පන්දුවාර 10 තුළ ලකුණු 91ක් ලබා ගන්නා ලද අතර අහිමි කර ගන්නේ එක් කඩුල්ලක් පමණයි.

එම තත්ත්වය දිගින් දිගට ම පවත්වාගෙන යනු ලබන ඔවුන් තරගය අවසන් වීමට තවත් පන්දු 53ක් ඉතිරි ව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය කඩුලු 3ක් පමණක් අහිමි වෙද්දී සපුරා ගන්නවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු Aaron George. ඔහු පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 115ක් ලබා ගන්නවා.

ඔහු Vaibhav Sooryavanshi සමඟ එක් වෙමින් 1 වැනි කඩුල්ලට ලකුණු 90ක සබඳතාවක් ද, නායක Ayush Mhatre සමඟ එක් වෙමින් 2 වැනි කඩුල්ලට ලකුණු 114ක සබඳතාවක් ද සහ Vihaan Malhotra සමඟ එක් වෙමින් 3 වැනි කඩුල්ලට ලකුණු 96ක සබඳතාවක් ද ගොඩ නගනවා.

එහි දී Vaibhav Sooryavanshi පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 68ක් ද, නායක Ayush Mhatre පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 62ක් ද සහ Vihaan Malhotra පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 38ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී Nooristani Omarzai ලකුණු 64කට කඩුලු ද්විත්වයක් දවා ගන්නා ලද අතර අනෙක් කඩුල්ල Wahidullah Zadran දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 4ක් දැවී 310 (50.0) Osman Sadat 39, Khalid Ahmadzai 31, Faisal Shinozada 110, Uzairullah Niazai නොදැවී 101, Deepesh Devendran 2/64, Kanishk Chouhan 2/55
  • ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 3ක් දැවී 311 (41.1) Aaron George 115, Vaibhav Sooryavanshi 68, Ayush Mhatre 62, Vihaan Malhotra නොදැවී 38, Nooristani Omarzai 2/64

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

තරගයේ වීරයා – Aaron George (ඉන්දියාව)

2026 වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<