2026 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය වටයට අදාළ ව ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය අද (26) පැවැත්වුණා.
නැමීබියාවේ Windhoek ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඇෆ්ගනිස්තානය තරග බිමට පිවිසුණු අතර, තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා සතු වුනා.
ඒ අනුව ශ්‍රී ලංකාව තරගයේ පළමුව පන්දු යැවීම තෝරා ගත් අතර, ඇෆ්ගනිස්තානය පළමුව පන්දුවට පහර දීමට පිටියට අවතීර්ණ වුනා.
ඇෆ්ගන් පිතිකරුවන් තරමක් සෙමෙන් සිය ඉනිම ආරම්භ කළ අතර, ඔවුන්ට ඉනිම වේගවත් කිරීමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ද දිගින් දිගටම තර්ජනාත්මක අයුරින් පන්දු යැවීම සිදු කිරීමට සමත් වුනා.
ඇෆ්ගන් ඉනිමේ හොඳම ලකුණු සබඳතාව Osman Sadat සහ Azizullah Miakhil අතර ඇති වූ අතර, ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ 05 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76ක් එක් කිරීමට සමත් වුනා.
මෙහි දී Osman විසින් ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් ලකුණු 62ක් ලබාගනිද්දී, Azizullah විසින් ලකුණු 43ක් ලබා ගැනීමට සමත් වුනා.
මේ අනුව ඇෆ්ගනිස්තානය විසින් පන්දුවාර 49 පන්දු 5ක් තුළ ලකුණු 193ක් ලබා ගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ කූගදාස් මතුලන් සහ විරාන් චමුදිත අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
මින් අනතුරුව ඇෆ්ගනිස්තානයෙන් එල්ල වූ ලකුණු 194ක ඉලක්කය හඹා යාම වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් පිටියට අවතීර්ණ වුනා.
මෙය ශ්‍රී ලංකා පිතිකරුවන්ට ද තරමක අභියෝගයක් එල්ල කරනා අන්දමේ ඉලක්කයක් වූ බව දක්නට ලැබුණු අතර, ඔවුන් ද තරමක් සෙමෙන් සිය ඉලක්කය හඹා යෑම සිදු කළා.
මෙහි දී ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ සෙනුජ වකුණුගොඩ පන්දු 79කින් ලකුණු 43ක් වාර්තා කිරීමට සමත් වූ අතර, දිමන්ත මහවිතාන ලකුණු 37කින් ඉනිමට දායක වුනා. මීට අමතරව කවිජ ගමගේ ලකුණු 25ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 130ක් සටහන් වන විට කඩුලු 5ක් බිඳ වැටුණු අතර, මේ මොහොතේ චාමික හීනටිගල සහ දුල්නිත් සිගේරා පිටියේ එක් වෙමින් හය වැනි කඩුල්ල වෙනුවෙන් වටිනා ලකුණු 52ක් එක් කිරීමට සමත් වුනා.
මෙහි දී දුල්නිත් ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වූ අතර, තරගය ජය ගන්නා තෙක් ඉවසීමෙන් ඉනිම දියත් කළ චාමික ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වුනා.
මේ අනුව ශ්‍රී ලංකාවට තරගයෙන් කඩුලු 4ක ජයක් හිමි වුනා.
තරගයේ වීරයා සම්මානය චාමික හීනටිගල හට හිමි වුනා.
මෙම ජයත් සමඟ ශ්‍රී ලංකාව සුපිරි හය වටයේ පළමු කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත් වීමට සමත් වී සිටිනවා.
ඕස්ට්‍රේලියාව මෙම සටහනේ පළමු ස්ථානය අපරාජිත ව රැක ගැනීමට සමත් වී ඇති අතර, ඇෆ්ගනිස්තානය දෙවැනි ස්ථානයේ රැඳෙනවා. එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිව්වැනි ස්ථානයේ රැඳෙනවා.
මෙහි දී දෙවන, තෙවන සහ සිව්වැනි ස්ථාන දළ ලකුණු වේගය මත පමණක් වෙනස් වී ඇති නිසා ඉදිරියේ දී මෙම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පැමිණීමට වඩා හොඳ සටනක් නිර්මාණය වනු ඇති. එමෙන්ම එම කණ්ඩායම ඉන් පසුව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනු ඇති.
එම සටන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මීළඟ අභියෝගය දකුණු අප්‍රිකාව හමුවේ බාර ගැනීමට සිදු වන අතර, එම තරගය එළඹෙන බ්‍රහස්පතින්දා (29) පැවැත්වීමට නියමිතයි.
එම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දක්වන ක්‍රීඩා විලාශය මෙම තරගාවලියේ ශ්‍රී ලංකා බලාපොරොත්තු රැක ගැනීමට ඇති එකම අවස්ථාව වනු ඇති.
19න් පහළ ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















