පාකිස්තානය සමඟ T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Pakistan Tour of Sri Lanka 2025

101
Pakistan Tour Of Sri Lanka 2025

පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය ඊයේ (06) නම් කළා.

මෙම සංචිතය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් වන අතර, සංචිතයේ නායකත්වය නව නායක දසුන් ශානක හට හිමි වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සංචිතය සඳහා හිටපු නායක චරිත් අසලංකව ද නැවත කැඳවා තිබීම විශේෂත්වයක්. එමෙන්ම නිමා වූ IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළ වටිනාකමක් හිමි වූ මතීෂ පතිරණ ද නැවත සංචිතයට කැඳවා ඇති අතර, මතීෂ මෙන්ම කැපී පෙනෙන තවත් යොවුන් ක්‍රීඩකයකු වන දුනිත් වෙල්ලාලගේ ද මෙම සංචිතයට කැඳවා තිබෙනවා.

මෙම සංචිතයේ වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයා ලෙස වත්මන් ටෙස්ට් නායක ධනංජය ද සිල්වා හඳුන්වා දිය හැකි. වසරකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා නොකළ මෙන්ම, මෑත කාලීනව එක්දින සංචිතයේ පවා ඉඩක් වෙන් නොවූ ධනංජය ශ්‍රී ලංකා විස්සයි විස්ස මැද පෙළ ශක්තිමත් කිරීම සඳහා මෙසේ කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම යොවුන් ක්‍රීඩක ට්‍රවීන් මැතිව් ද මෙම සංචිතයට ඇතුළත් කර තිබෙනවා. කෙසේ වෙතත් මීට පෙර පාකිස්තානයේ සංචාරය කල භානුක රාජපක්ෂ, විජයකාන්ත් වියස්කාන්ත් සහ පවන් රත්නායක මෙම සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය:

දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිල් මිශාර, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂන, දුනිත් වෙල්ලාලගේ, දුශාන් හේමන්ත, ට්‍රවීන් මැතිව්, දුශ්මන්ත චමීර, නුවන් තුශාර, මතීෂ පතිරණ සහ එශාන් මාලිංග

දෙරට අතර තරගාවලිය අද (07) දිනයෙන් ආරම්භ වීමට අතර, තරගාවලියේ ඉතිරි තරග ද්විත්වය 9 සහ 11 දිනවල දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<