බංග්ලාදේශයේ ලෝක කුසලාන තරග ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ ඉල්ලීමක්!

112
Bangladesh Cricket

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී බංග්ලාදේශය විසින් ඉන්දියාවේ දී ක්‍රීඩා කිරීමට නියමිත සියලු තරග ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ අවශ්‍යතාව බංග්ලාදේශ ක්‍රිකට් වෙතින් සඳහන් කර තිබෙනවා.

ඊයේ (03) දිනයේ දී දැනුම් දුන් පරිදි බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක Mustafizur Rahman මෙවර IPL තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට නියමිත ව සිටි Kolkata Knight Riders කණ්ඩායමෙන් නිදහස් කිරීමට පියවර ගත් අතර, ඉන් පසුවයි බංග්ලාදේශය පාර්ශවයෙන් මෙම අදහස පළ වී තිබෙන්නේ.

බංග්ලාදේශයේ දී හින්දු ජාතිකයින්ට සිදු වන අනිසි බලපෑම් හේතුවෙන් ඉන්දීය ප්‍රබල දේශපාලකයින් සහ ආගමික නායකයින් විසින් Mustafizurගේ IPL සහභාගීත්වය ප්‍රශ්න කිරීමට පටන් ගත් අතර, ඒ අනුවයි ඔහුට IPL අහිමි වන්නේ.

මෙම සිදුවීමත් සමඟින් ඊයේ දිනයේ දීම BCB විසින් ඉක්මන් රැස්වීමක් කැඳවමින් මේ පිළිබඳ සාකච්ඡා කර තිබුණා.

අපිට කොල්කටා වල දී තරග තුනක් තියෙනවා, ඒ නිසා අපි අද වුන සිදුවීම්වලට අදාළ ව ICC එකට ලියන්න සූදානම්”

ඒ පිළිබඳ සඳහන් කරන BCB මාධ්‍ය කමිටු ප්‍රධානී Amzad Hussain විසින් එසේ සඳහන් කළා.

මෙහි දී BCB විසින් විශේෂයෙන්ම තම ක්‍රිකට් ක්‍රීඩකයින්ට කොල්කටාවේ දී ලැබෙන ආරක්ෂාව පිළිබඳ ගැටලු මතු කරනවා.

මෙම සිදුවීම ගැන සම්පූර්ණ කාරණය ICC වෙත පැහැදිලි කරන්න කියලා මම BCB වෙත දැන්වුවා. කොන්ත්‍රාත්තු ගත වෙලා ඉන්න ක්‍රීඩකයකුට පවා ඉන්දියාවේ ක්‍රීඩා කළ නොහැකි තැනක, මුළු බංග්ලාදේශ කණ්ඩායමට ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට යාමේ දී ආරක්ෂිත බවක් නොදැනෙන බව BCB විසින් දන්වා සිටිය යුතුයි. බංග්ලාදේශයේ සියලු ලෝක කුසලාන තරග ශ්‍රී ලංකාවේ පවත්වන ලෙස ද ICC වෙතින් ඉල්ලන මෙන් මම BCB වෙත දැනුම් දුන්නා.

බංග්ලාදේශ ක්‍රිකට් උපදේශක Asif Nazrul විසින් මෙසේ සඳහන් කරන අතර, එමෙන්ම එළඹෙන IPL තරගාවලිය බංග්ලාදේශයේ විකාශය කිරීමෙන් වළකින ලෙස ද තමන් බංග්ලාදේශ තොරතුරු සහ මාධ්‍ය විකාශන අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

බංග්ලාදේශය එළඹෙන ලෝක කුසලානයේ දී සිය පළමු තරගය කොල්කටාවේ Eden Garden ක්‍රීඩාංගණයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඔවුන්ගේ සියලු තරග කොල්කටාවේ සහ මුම්බායේ පැවැත්වීමට සැලසුම් කර තිබුණා.

මෙම සිදුවීම වටා ඇති වන අනෙක් සියලු සිදුවීම් පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<