ගෙවී ගිය 2025 වසර තුළ ලෝක මට්ටමින් ද ක්‍රීඩා ඉසව් රැසක් ඉහළ අවධානයක් දිනා ගනිමින් ක්‍රියාත්මක වුනා. පාපන්දු ක්‍රීඩාව සුපුරුදු පරිදි ලෝක මට්ටමේ කැපී පෙනෙන ක්‍රීඩා ඉසව්ව වන අතරේ, ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට ද විශේෂ අවධානයක් හිමි වුනා.
එම සියලු විශේෂ තතු විත්ති පිළිබඳ මතකය නැවත අවදි කිරීමේ සටහන මෙතැන් සිට;
PSG අවාසනාවට පහර ගසයි
පෙර ලිපියක සඳහන් කළ අයුරින් ම 2025 වසර ලොව පුරා ක්‍රීඩාව තුළ පෙර නොවූ විරූ වෙනස්කම් ඇති කිරීමට හේතුවක් වූ වසරක් ලෙස හැඳින්විය හැකි.
එයට තවත් එක් උදාහරණයක් ලෙස ප්‍රංශයේ PSG කණ්ඩායම හඳුන්වා දිය හැකි අතර, ඔවුන් 2025 UEFA ශූරතාව දිනා ගැනීමට සමත් වූ අතර, ඔවුන් විසින් අවසන් මහා තරගයේ දී Inter Milan කණ්ඩායමට එරෙහිව ගෝල 5-0ක ජයක් වාර්තා කිරීමට සමත් වුනා.
වසර ගණනක් තිස්සේ බලා හිඳි UEFA ශූරතාව එසේ PSG සතු වන විට, ඒ වෙනුවෙන් වැඩි දායකත්වයක් සැපයූ ක්‍රීඩකයකු ලෙස කැපී පෙනුණු Ousmane Dembele විසින් පසු කාලීන ව Balloon d’Or සම්මානය ද දිනා ගැනීමට සමත් වුනා.
PSG කණ්ඩායම මෙම වසරේ අතිශය සාර්ථක තරග රටාවක නිරත වූ නමුත් ඔවුන්ට FIFA Club World Cup තරගාවලිය පමණක් අවාසනාවන්ත ලෙස මග හැරී ගියා.
Chelsea Club ලෝක කුසලානය දිනයි
PSG කණ්ඩායමේ සාර්ථක තරග වාරය තුළ සිදු වූ එකම අවාසනාවන්ත සිදුවීම ලෙස සටහන් වන්නේ Club World Cup තරගාවලියේ අවසන් මහා තරගයේ දී Chelsea කණ්ඩායම හමුවේ පරාජය වීම පමණයි.
මේ අතර එංගලන්තයේ Premiere League ශූරතාව දිනා ගැනීමට Liverpool කණ්ඩායම විසින් සමත් වූ අතර, Barcelona විසින් La Liga ශූරතාව ජය ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් මෙම වසර තුළ Real Madrid කණ්ඩායම බලාපොරොත්තු වූ තරමේ කැපී පෙනෙන දක්ෂතා නොදැක්වීමත් සුවිශේෂී කාරණයක්.
මේ අතර ආසියාවේ පාපන්දු ශූරයින් බවට පත් වීමට සෞදියේ Al – Ahil පාපන්දු කණ්ඩායම විසින් සමත් වුනා.
2026 පාපන්දු ලෝක කුසලානයටත් පාර කැපෙයි
මේ මොහොත වන විට 2026 පාපන්දු ලෝක කුසලානය සඳහා සහභාගී වීමට නියමිත කණ්ඩායම් 48න් 42ක් තෝරා ගෙන අවසන්. මේ අතරට ලොව ප්‍රබලතම පාපන්දු කණ්ඩායම් බහුතරයක් එක් වී ඇති අතර, ඊට අමතරව තවත් කණ්ඩායම් කිහිපයක් ඉතිහාසයේ පළමු වරට සහ වසර ගණනක ඇවෑමෙන් පසුව ලෝක කුසලාන වරම් ලැබීමත් විශේෂත්වයක්.
උස්බෙකිස්තානය, ජෝර්දානය, Cape Verde, Curacao යන රටවල් ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන වරම් ලබා ගත් අතර, මේ අතරින් Cape Verde සහ Curacao යන රටවල් පාපන්දු ලෝක කුසලාන වරම් ලද ලොව කුඩාම රටවල් අතරට ද එක් වුනා.
එමෙන්ම හයිටි (1974න් පසුව), නවසීලන්තය (2010න් පසුව), නෝර්වේ සහ ස්කොට්ලන්තය (1998 වසරෙන් පසුව) නැවත ලෝක කුසලාන වරම් ලබා ගැනීමත් විශේෂත්වයක්.
මංගල කුසලානයේ මිහිර තවදුරටත්
2025 වසර තුළ ක්‍රියාත්මක වූ ටෙනිස් Grand Slam තරගාවලි පුරාවට නව ජයග්‍රාහකයින් බිහි වීම සිදු වුනා. Australia Open තරගාවලියේ දී Madison Keys සිය මංගල කාන්තා ශූරතාව හිමි කර ගැනීමට සමත් වන අතරේ, Iga Swaitek විසින් සිය මංගල Wimbledon ශූරතාව ජය ගැනීමට සමත් වුනා.
මීට අමතරව Jannik Sinner, Carlos Alcaraz වැනි ක්‍රීඩකයින් සුපුරුදු පරිදි සිය ජයග්‍රහණ හඹා යාම සිදු කිරීමට සමත් වුනා.
එමෙන්ම F1 හිදී McLaren’s නියෝජනය කරන Lando Norris විසින් 2025 Formula 1 ශූරතාව ජය ගැනීමට සමත් වූ අතර, ඔහුගේ කණ්ඩායම් සගයා වූ Oscar Piastri අනුශූරතාව දිනා ගැනීමට සමත් වුනා.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය සාර්ථකව නිම වෙයි
ගෙවුණු වසරේ මලල ක්‍රීඩාව තුළ දක්නට ලැබුණු සුවිශේෂී ම ක්‍රීඩා ඉසව්ව ලෙස ජපානයේ ටෝකියෝ හිදි පැවැත්වුණු මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය හඳුන්වා දිය හැකි.
මෙහි දී රටවල් 53ක් විසින් පදක්කම් දිනා ගැනීමට සමත් වූ අතර, මෙය නව වාර්තාවක් ලෙස ද සටහන් වුනා.
මෙහි දී ස්වීඩනයේ Mondo Duplantis විසින් ඉතිහාසයේ පළමු වරට පිරිමි රිටි පැනීමේ ඉසව්වෙන් මීටර් 6.30ක කඩ ඉම තරණය කිරීමට සමත් වූ අතර, එය නව ලෝක වාර්තාවක් ලෙස නැවතත් සටහන් වුනා. එමෙන්ම මෙය 2025 වසර තුළ ඔහු මෙම ඉසව්ව වෙනුවෙන් ලෝක වාර්තාව අලුත් කළ එකම අවස්ථාව මෙය නොවීමත් විශේෂත්වයක්.
එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කළ Sydney Mclaughlin Levrone විසින් කාන්තා මීටර් 400 ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනේ තත්පර 47.78ක කාලයක් සමඟ වන අතර, එය නව තරග වාර්තාවක් ලෙස ද සටහන් වුනා. එමෙන්ම දශක හතරකට ආසන්න කාලයක් තුළ එම ඉසව්වේ වාර්තා වූ හොඳම කාලය ලෙස ද එය සටහන් වූ අතර, ඇය විසින් නුදුරේ දීම මෙම ඉසව්වේ ලෝක වාර්තාව ද තමන් සතු කර ගනු ඇති බව අනුමාන කළ හැකි.
එමෙන්ම Ethan Katzberg විසින් දශක දෙකක කාලයක් තුළ පිරිමි මිටිය විසි කිරීම ඉසව්වෙන් වාර්තා වූ ඉහළම දක්ෂතාව ලෙස මීටර් 84.70ක දක්ෂතාවක් දැක්වීමට සමත් වීමත් විශේෂත්වයක්.
නිමා වූ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී සුපුරුදු පරිදි ඇමරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 16ක් දිනා ගනිමින් පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා.
මේ අතරම ඇමරිකාවේ Melissa Jefferson-Wooden විසින් කාන්තා මීටර් 100, 200 ඉසව් ද්විත්වයම ජය ගත් පළමු ඇමරිකානු ක්‍රීඩිකාව බවට පත් වීමට (ලෝක ශූරතාවයක) සමත් වූ අතර, ඇමරිකාවේ Noah Lyles සිව්වැනි වරටත් පිරිමි මීටර් 200 ඉසව්ව ජය ගැනීමට සමත් වීමත් විශේෂත්වයක්.
එමෙන්ම කෙන්යාවේ Faith Kipyegon නැවත වරක් කාන්තා මීටර් 1500 ඉසව්ව ඉතා පහසුවෙන් ම ජය ගැනීමට සමත් වුනා.
තවත් මලල ක්‍රීඩා ලෝක වාර්තා බිහි වෙයි
ගෙවුණු වසරේ මලල ක්‍රීඩා ලෝක වාර්තා බිහි වීම එතෙකින් ද නතර වුනේ නැහැ.
නොර්වේ දේශයේ Jacob Ingebritsen විසින් පිරිමි මීටර් 1500 සහ 1600 ඉසව්වල ලෝක වාර්තා අලුත් කිරීමට සමත් වන අතරේ, කෙන්යාවේ Beatrice Chebet කාන්තා මීටර් 5000 ඉසව්වේ ලෝක වාර්තාව වෙනස් කිරීමට ද සමත් වුනා. එමෙන්ම ජපානයේ Toshikazu Yamanishi විසින් පිරිමි 20Km ඇවිදීම ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කිරීමට සමත් වුනා.
සංවේදී සමු ගැනීමක්
මේ අතර ලෝක මලල ක්‍රීඩාවේ ප්‍රේක්ෂකාදරය දැඩි ලෙස දිනා ගත් ජැමෙයිකාවේ Shelly Ann Fraser Pryce සිය ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට සමු දීම ගෙවුණු වසරේ වඩාත් සංවේදී සමු ගැනීම ලෙස සටහන් කළ හැකි.
මේ අයුරින් 2025 වසරට අදාළ ව ක්‍රීඩා ඉසව් ක්‍රියාත්මක වී අවසන් වුනා. එමෙන්ම එළඹෙන 2026 වසරේ විශාලතම ක්‍රීඩා බලාපොරොත්තුව ලෙස FIFA ලෝක කුසලානය හඳුන්වා දිය හැකි.
මෙම වසර මුළුල්ලේ දෙස්, විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කළ අයුරින් ම, ලබන්නා වූ 2026 වසරේ දී ද ක්‍රීඩා පිටියේ සියලු අහු මුළු ආවරණය කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<




















