ආසන්නත ම ශූරයෝ හොංකොං හමුවේ පරාජය වෙයි

Hong Kong International Sixes

252
Hong Kong Sixes - Sri Lanka vs Hong Kong

හොංකොං ක්‍රිකට් ආයතනය වාර්ෂිකව සංවිධානය කරන සය සමාජික ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ පසුගිය වසරේ ශූරයන් වූ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන්, සත්කාරක හොංකොං කණ්ඩායම වෙතින් කඩුලු 4ක පරාජයකට පත් වීමට සිදු වුණා.

හොංකොං හි දී පැවැත්වෙන මෙම තරගාවලිය අද (07) එරට Mission Road ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූවා.

ශ්‍රී ලංකාව සහ හොංකොං අතර පැවැති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ හොංකොං කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාව සතු කළා. එම ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවාර 6 අවසානයේ දී සියලුම දෙනා දැවී ලකුණු 79ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි හොංකොං ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී පන්දු 22කින් එම ඉලක්කය සපුරා ගන්නවා.

ශ්‍රී ලංකා Sixes කණ්ඩායම

 

ලහිරු මදුශංක (නායක), තනුක දාබරේ (කඩුලු රකින්නා), ධනංජය ලක්ෂාන්, ලහිරු සමරකෝන්, තරිඳු රත්නායක, නිමේෂ් විමුක්ති.

 

හොංකොං Sixes කණ්ඩායම

 

Yasim Murtaza (නායක), Babar Hayat (කඩුලු රකින්නා), Aizaz Khan, Nizakat Khan, Ehsan Khan, Nasrulla Rana.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ තනුක දාබරේ සහ ධනංජය ලක්ෂාන් එක් ව පළමු කඩුල්ලට පන්දු 18ක දී ලකුණු 42ක සබඳතාවක් එක් කරමින් සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා. ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් දැවී ගිය ධනංජය ලක්ෂාන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 16ක්. ඔහු ඒ සඳහා පන්දු 10කට මුහුණ දුන් අතර ඊට හතරේ පහර 2ක් සහ හයේ පහරක් එක් කරනවා.

ඉන් අනතුරු ව ඉනිමේ 2 වැනි කඩුල්ල ලෙසින් තනුක දාබරේ දැවී යනවා. ඔහු දැවී යන විට පන්දු 10කට මුහුණ දෙමින් හයේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ලබා සිටියා. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව නායක ලහිරු මදුශංක ලකුණකට ද, තරිඳු රත්නායක ලකුණකට ද සහ ඉනිමේ අවසන් පිතිකරු ලෙසින් ලහිරු සමරකෝන් ලකුණු 8කට ද දැවී යනවා.

එම දැවී යෑමේ දී අනෙක් අන්තයෙන් සිටි නිමේෂ් විමුක්තිට ද තරගයේ නීති රීති අනුව තනිව පන්දුවට පහර දීමේ අවස්ථාව හිමි වූ අතර ඒ අනුව ඔහු  ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට තමන් මුහුණ දුන් පන්දු 4 දී හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Nasrulla Rana ලකුණු 4කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Aizaz Khan, Ehsan Khan සහ Nizakat Khan කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සත්කාරක ක්‍රීඩකයන්ගේ පළමු කඩුල්ල පළමු පන්දුවේ දී ම දවා ගැනීමට සමත් වූ ධනංජය ලක්ෂාන් එම පන්දු වාරයේ ම 5 වැනි පන්දුවේ දී ද 2 වැනි කඩුල්ල ද දවා ගන්නවා. එහෙත් එම පන්දුවාරයට හයේ පහර 2ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 17ක් පූජා කිරීමට ද ඔහුට සිදු වෙනවා.

හොංකොං ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 11 දී අහිමි වූව ද එතැන් සිට තරගයේ පාලනය හොංකොං ක්‍රීඩකයන් සතු වුණා. නායක Yasim Murtaza සහ Aizaz Khan එක් ව ශ්‍රී ලංකාවට එරෙහි ව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන්නේ පන්දු 17කින් නොදැවුණ ලකුණු 69ක් ලබා ගනිමිනුයි.

එහි දී ඉනිමේ 2 වැනි පන්දුවාරය යැවූ ලහිරු සමරකෝන්ට එරෙහි ව ලකුණු 24ක් ලබා ගන්නා ඔවුන් අතුරින් හයේ පහර 3ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 23ක් ම ලබා ගන්නේ Yasim Murtaza.

ඉන් අනතුරු ව පන්දු වාරය යැවූ තරිඳු රත්නායකට ද දැවැන්ත ප්‍රහාරයකට ලක් වීමට සිදු වෙනවා. ඔහුගේ එම පන්දු වාරයේ දී හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා ගැනීමට Aizaz Khan සමත් වෙනවා. ඔහු තරගය අවසන් වෙන විට පන්දු 10ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබා සිටියා.

අනෙක් අන්තයෙන් නොදැවී පිටියේ රැඳී සිටි Yasim Murtaza තරගය අවසන් වන විට පන්දු 8ක දී හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබා සිටියා.

හොංකොං ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වයේ හිමිකාරීත්වය ධනංජය ලක්ෂාන් සතු වුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා Sixes කණ්ඩායම – සියලුම දෙනා දැවී 79 (6.0) තනුක දාබරේ 26, නිමේෂ් විමුක්ති නොදැවී 20, Nasrulla Rana 2/04
  • හොංකොං Sixes කණ්ඩායම – කඩුලු 2ක් දැවී 80 (3.4) Yasim Murtaza නොදැවී 26, Aizaz Khan නොදැවී 44, ධනංජය ලක්ෂාන් 2/17

හොංකොං Sixes කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

තරගයේ වීරයා – Aizaz Khan (හොංකොං)

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<