රන් හතරක් සමඟ ශ්‍රී ලංකාව ඉන්දියාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරයි

South Asian Athletics Championship 2025

207
South Asian Athletics Championship 2025

සිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (24) ඉන්දියාවේ රංචි හිදි උත්සවශ්‍රීයෙන් ආරම්භ වුනා. මෙවර තරගාවලියට පාකිස්තානය සහභාගී නොවීම නිසා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වන්ද සටනක් නිර්මාණය වනු ඇති බව පෙර සිටම අනුමාන කළ හැකි වුනා.

එම අනුමාන කිරීම් තහවුරු කරමින් ශ්‍රී ලංකාව ඊයේ දිනය තුළ රන් පදක්කම් 04ක් ජයග්‍රහණය කරද්දී, සත්කාරක ඉන්දීය කණ්ඩායම රන් පදක්කම් පහක් ජය ගැනීමට සමත් වුනා.

ඊයේ දිනය තුළ ක්‍රීඩා උළෙලට ආරම්භය ලබා දෙමින් කාන්තා සහ පිරිමි මීටර් 100 ඉසව්වල මූලික වටයේ තරග ආරම්භ වුනා. මෙහි දී චමෝද් යෝධසිංහ, සඳුන් දියලවත්ත, ශාෆියා යාමික් සහ අමාශා ද සිල්වා ඉතා පහසුවෙන් මූලික වටයේ තරග ඉසව් ජය ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

දකුණු ආසියාවේ වේගවත් ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවෙන්

දිනය අවසන් වීමට මොහොතකට පෙර මීටර් 100 අවසන් තරග ක්‍රියාත්මක වුනා. පිරිමි අවසන් තරගයේ දී තත්පර 10.30ක තරග නිමි කාලයක් සමඟ රන් පදක්කම ජය ගැනීමට චමෝද් යෝධසිංහ විසින් සමත් වුනා. කෙසේ වෙතත් සඳුන්ගේ තරග නිමි කාලය තත්පර 10.64ක් ලෙස සිව්වැනි ස්ථානයෙනුයි නතර වුනේ.

මින් පසුව කාන්තා මීටර් 100 අවසන් තරගය ආරම්භ වුනා. මෙහි මූලික වටයේ දී පෙර පැවති තරග වාර්තාව අලුත් කළ ශාෆියා යාමික් විසින් අවසන් තරගයේ දී එම තරග වාර්තාව නැවත වරක් අලුත් කරමින් රන් පදක්කම ජය ගැනීමට සමත් වුනා. ඇයගේ තරග නිමි කාලය තත්පර 11.53ක් ලෙස සටහන් වුනා. එමෙන්ම අමාශා ද සිල්වා විසින් තත්පර 11.72ක තරග නිමි කාලයක් සමඟ රිදී පදක්කම ජය ගැනීමට සමත් වුනා.

තුන් පිම්මේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට

මේ අතර ඊයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ පළමු රන් පදක්කමේ ගෞරවය පිරිමි තුන් පිම්ම ඉසව්ව නියෝජනය කළ පසිඳු මල්ශාන් හට හිමි වුනා. මීටර් 16.19ක දුරක් සමඟ පසිඳු රන් පදක්කම හිමි කර ගත්තා. මේ අතර කාන්තා තුන් පිම්ම අවසන් තරගයේ දී මීටර් 13.26ක දුරක් සමඟ රන් පදක්කම ජය ගැනීමට මදුශානි හේරත් සමත් වූ අතර, මෙහි දී මීටර් 12.79ක දුරක් තරණය කළ ශශිනි උපේක්ෂා ලෝකඩ පදක්කම ජය ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකාව තවත් ලෝකඩ සහ රිදී පදක්කම් කිහිපයක් කරා

මීටර් 5000 ඉසව්ව පිරිමි ඉසව්ව නියෝජනය කළ වික්නරාජ් වක්ශන් විසින් ඉන්දියාවට තියුණු තරගයක් ලබා දෙමින් රිදී පදක්කම ජය ගැනීමට සමත් වුනා. මේ අතර පිරිමි යගුළිය විසි කිරීමේ ඉසව්ව නියෝජනය කළ මිතුන් රාජ් සහ කාන්තා ඉසව්ව නියෝජනය කළ ඔවිනි චන්ද්‍රසේකර විසින් තවත් ලෝකඩ පදක්කම් ද්විත්වයක් ශ්‍රී ලංකාවට ලබා දුන්නා. මේ අතර කාන්තා මීටර් 5000 ඉසව්ව නියෝජනය කළ රසාරා විජේසූරිය සිව්වැනි ස්ථානය ලබා ගනිමින් තරගය නිම කළා.

මිශ්‍ර 400 සහය දිවීම ඉසව්වේ රන් පදක්කම ගිලිහී යයි

මේ අතර ශ්‍රී ලංකාවේ තවත් ප්‍රධාන පෙළේ රන් බලාපොරොත්තුවක් වන මිශ්‍ර 400×4 සහය දිවීමේ ඉසව්ව ද ඊයේ ක්‍රියාත්මක වුනා. මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භය ලබා ගත් කාලිංග කුමාරගේ ඉතා හොඳ පරතරයක් සහිතව ශ්‍රී ලංකාව පෙරමුණට රැගෙන ඒමට සමත් වූ නමුත්, ඉන් පසුව ධාවනයට පිවිසි නදීශා රාමනායක, කල්හාර ඉදූප සහ සයුරි මෙන්ඩිස් යන ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට එම පරතරයට ඒ ආකාරයෙන් ම රැක ගැනීමට හැකි වුනේ නැහැ. කෙසේ වෙතත් ඔවුන් මෙහි රිදී පදක්කම තහවුරු කර ගැනීමට සමත් වුනා. නමුත් එහි රන් පදක්කම ශ්‍රී ලංකාව සතු වුනා නම් ඊයේ දිනය තුළ ඉන්දියාවට වඩා රන් පදක්කම් ජය ගනිමින් පදක්කම් සටහනේ පෙරමුණ තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන්නට ඉඩ තිබුණා.

මේ අතර ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනය අද (25) ක්‍රියාත්මක වීමට නියමිතයි. අද සවස 5.00 සිට ආරම්භ වීමට දෙවැනි දිනය තුළ මීටර් 110 සහ 100 කඩුලු මතින් දිවීම, මීටර් 400 මෙන්ම 100×4 ඇතුළු අවසන් තරග රැසක් ක්‍රියාත්මක වීමට නියමිතයි.

එම තරග තොරතුරු ද ඇතුළුව දෙස් විදෙස් මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>