ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ Sri Lanka Youth League එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් (20) පැවැති තරගවල දී Colombo North සහ Colombo South ක්‍රීඩකයෝ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුණා.
එම තරගවල දී පිතිකරුවන් ලෙසින් හිමත් පණ්ඩිතරත්න සහ හිරුන් මතීෂ අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වීම කැපී පෙණුන අතර කෞෂික තිලකරත්න ද පිතිකරුවන් අතර කැපී පෙණෙන ඉනිමක නිරත වූවා.
පන්දු යැවීමේ දී දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ හිමරු දේශාන්.
Colombo North U 17s කණ්ඩායම සහ Dambulla U 17s කණ්ඩායම අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
Dambulla U 17s කණ්ඩායම
දම්ලත් ගමගේ (නායක), හිමත් පණ්ඩිතරත්න (කඩුලු රකින්නා), රිසිනු සෙත්මික, මශීෂ සිතුම්, පුදසර අයෝධ්‍ය, චමෝද් ප්‍රභාෂ, ඉෂාන් ඛාන්, මුරලි තීසන්, ඩිහාන් මුණසිංහ, අමල් පෙරේරා සහ උදයකුමාර තරනිජන්.
Colombo North U 17s කණ්ඩායම
ලිතුම් සෙනුජ (නායක), කෞෂික තිලකරත්න, කවිත් ද සිල්වා, නවිඳු හෙට්ටිආරච්චි, සනුල් වීරරත්න, ලහිරු ලක්මාල්, දුමීන් ලියනාරච්චි (කඩුලු රකින්නා), දසිත් පෙරේරා, මිනුග නෙත්සර, ජනුල් ධම්හිරු සහ සවිඳු සත්සර.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ Colombo North කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Dambulla ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 230ක් ලබා ගන්නවා.
ඔවුන්ගේ ඉනිමේ කඩුලු 2ක් ලකුණු 7කට අහිමි වෙද්දී පුදසර අයෝධ්‍ය සහ ආරම්භක පිතිකරු හිමත් පණ්ඩිතරත්න එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 87ක දී ලකුණු 48ක් එක් කරමින් තම කණ්ඩායමට ජීවය එක් කරනවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ පුදසර අයෝධ්‍ය පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟිනුයි.
හිමත් පණ්ඩිතරත්න ඉනිමේ 6 වැනි පිතිකරු ලෙසින් දැවී යද්දී පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 66ක් ලබා සිටියා. ඔහු ඉෂාන් ඛාන් සමඟ 6 වැනි කඩුල්ලට පන්දු 77ක දී ලකුණු 66ක් ද එක් කරනවා. ඉෂාන් ඛාන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 40ක්. ඔහු ඒ සඳහා පන්දු 46කට මුහුණ දුන් අතර එම ඉනිමට හතරේ පහර 4ක් ද එක් කරනවා.
Dambulla ඉනිම අවසන් වෙද්දී මුරලි තීසන් පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ද සහ ඩිලාන් මුණසිංහ පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ද ලබා සිටියා.
ඔවුන් දෙදෙනා 8 වැනි කඩුල්ලට පන්දු 21ක දී නොදැවුණ ලකුණු 51ක් ද Dambulla ඉනිමට එක් කළා.
කඩුලු දවා ගැනීමේ දී ජනුල් ධම්හිරු ලකුණු 39කට කඩුලු 3ක් දවා ගනිද්දී, සවිඳු සත්සර කඩුලු ද්විත්වයක් ද සහ දසිත් පෙරේරා කඩුල්ලක් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Colombo North කණ්ඩායම ප්‍රතිවාදී ඉලක්කය පසු කරන්නේ තවත් කඩුලු 3ක් සහ පන්දු 23ක් ද ඉතිරි කර ගනිමිනුයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක වමත් පිතිකරු කෞෂික තිලකරත්න. ඔහු පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ලබා ගන්නවා.
ඊට අමතර ව ලහිරු ලක්මාල් පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 39ක් ද, සනුල් වීරරත්න පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ද සහ දුමීන් ලියනාරච්චි පන්දු 44ක ට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ද ලබා ගන්නවා.
දුමීන් ලියනාරච්චි සහ ලහිරු ලක්මාල් එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 64ක දී ලකුණු 63ක සබඳතාවක් එක් කරමින් තරගයේ තීරණාත්මක ලකුණු සබඳතාව Colombo North ඉනිමට එක් කරනවා.
කඩුලු දවා ගැනීමේ දී ඉෂාන් ඛාන් ලකුණු 32කට කඩුලු 3ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව අමල් පෙරේරා, චමෝද් ප්‍රභාෂ, ඩිහාන් මුණසිංහ සහ මුරලි තිසෝන් කඩුල්ල බැගින් බෙදා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Dambulla U 17s කණ්ඩායම – කඩුලු 7ක් දැවී 230 (50.0) හිමත් පණ්ඩිතරන්ත 66, ඉෂාන් ඛාන් නොදැවී 40, මුරලි තිසන් නොදැවී 26, සවිඳු සත්සර 2/57, ජනුල් ධම්හිරු 3/49
- Colombo North U 17s කණ්ඩායම – කඩුලු 7ක් දැවී 234 (46.1) කෞෂික තිලකරත්න 43, නවිඳු හෙට්ටිආරච්චි 20, සනුල් වීරරත්න 27, ලහිරු ලක්මාල් 39, දුමීන් ලියනාරච්චි 27, දසිත් පෙරේරා නොදැවී 21, ඉෂාන් ඛාන් 3/32
Colombo North U 17s කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
- රත්ගම දේවපතිරාජයන් 17න් පහළ ශූරතාව දිනා ගනී
- මහානාම – දේවපතිරාජ අවසන් ගැටුමට
- මහින්ද – රාජකීය අවසන් පූර්ව වටයට
- Bulawayo පිටියේ නවසීලන්ත සෙල්ලම්
- 23න් පහළ පළමු දිනයට ශතක වැස්සක්
Colombo South U 17s කණ්ඩායම සහ Galle U 17s කණ්ඩායම අතර තරගය කරන්දෙණිය ජෙනරල් බලගල්ල ක්‍රීඩාංගණයේ දී.
Colombo South U 17s කණ්ඩායම
රෙහාන් පීරිස් (නායක), හිරුන් මතීෂ, රුසිඳු සිල්වා, චමත් වෙල්ලාලගේ, සෙහඳු සූරියාරච්චි, ඔෂඳ මනහර, මතීෂ අපෝන්සු, ගිමහාන් මෙන්ඩිස්, හිමරු දේශාන්, තෙවිඳු වේවැල්වල සහ ස්ටීවන් පීරිස් (කඩුලු රකින්නා).
Galle U 17s කණ්ඩායම
අරෝෂ් සිතුමිණ (නායක), නෙත්මල් බණ්ඩාර, සහස් ආශිංස, ලිතික ජයසුන්දර, සඳරු මල්ශාන්, යසිරු ලක්ශාන් (කඩුලු රකින්නා), කවික මදුසංක, තියෝන් හේලික, රවීන් සචින්ත, ප්‍රවීන් මදුශංක සහ ලතින්ද්‍ර ආකාශ්.
කාසියේ වාසිය දිනා ගත් Galle ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 119ක් පමණයි.
එලෙසින් නිමා වූ එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ සඳරු මල්ශාන්. ඔහු පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 19ක් ලබා ගන්නවා. ඊට අමතර ව යසිරු ලක්ෂාන් ලකුණු 17ක් ද සහ කවික මදුසංක ලකුණු 16ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී හිමරු දේශාන් ලකුණු 18කට කඩුලු 3ක් දවා ගත් අතර ඔශද මනහර සහ ගිම්හාන් මෙන්ඩිස් කඩුලු 2ක් ද සහ මතීෂ අපෝන්සු, රිසිඳු සිල්වා සහ සෙහඳු සූරියආරච්චි කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Colombo South කණ්ඩායම ප්‍රතිවාදී ඉලක්කය පහසුවෙන් ම පසු කරන්නේ ඔවුන් සතුව තවත් කඩුලු 3ක් සහ පන්දුවාර 28කුත් පන්දු 3ක් ද ඉතිරි කර ගනිමිනුයි. එහි දී ආරම්භක පිතිකරු හිරුන් මතීශ පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා ගන්නවා.
ඔහු අනෙක් ආරම්භක පිතිකරු නායක රෙහාන් පීරිස් සමඟ එක් වෙමින් 1 වැනි කඩුල්ලට පන්දු 59ක දී ලකුණු 62ක සබඳතාවක් එක් කරනවා. එහි දී රෙහාන් පීරිස් පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගන්නවා.
තරගය ජයග්‍රහණය කරද්දී රුසිඳු සිල්වා පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබා සිටියා. ඔහු සහ හිරුන් මතීශ එක් ව 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 70ක දී නොදැවුණ ලකුණු 60ක සබඳතාවක් ද එම ඉනිමට එක් කරනවා.
දවාගත් එක ම කඩුල්ලේ හිමිකාරීත්වය තියෝන් හේලික සතු වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Galle U 17s කණ්ඩායම – සියලුම දෙනා දැවී 119 (34.3) සඳරු මල්ශාන් 19, ගිම්හාන් මෙන්ඩිස් 2/30, හිමරු දේශාන් 3/18, ඔෂඳ මනහර 2/21
- Colombo South U 17s කණ්ඩායම – කඩුල්ලක් දැවී 122 (21.3) හිරුන් මතීෂ නොදැවී 52, රෙහාන් පීරිස් 21, රුසිඳු සිල්වා නොදැවී 31
Colombo South U 17s කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
මෙම තරගාවලියේ Galle U 17s කණ්ඩායම සහ Colombo North කණ්ඩායම අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත්, Dambulla කණ්ඩායම සහ Kandy කණ්ඩායම අතර තරගය කරන්දෙණිය ජෙනරල් බලගල්ල ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් අද (21) පැවැත්වීමට නියමිතයි.
වයස අවුරුදු 17න් පහළ Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















