වසර 12කට පසුව ගාල්ල පරහකට සිටී

Bangladesh Tour of Sri Lanka

15
SL vs BAN 1st Test Day 5

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (21) විසඳුමකින් තොරව අවසන් වූ අතර එම ක්‍රීඩාංගණයේ දී එවන් ප්‍රතිඵලයක් වාර්තා වෙන්නේ වසර 12කට පසුව වීම විශේෂත්වයක්.

මීට පෙර මෙම ක්‍රීඩාංගණයේ දී මෙලෙසින් තරගයක් නිමා වෙන්නේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර 2013 වසරේ මාර්තු මස 8 සිට 12 වැනිදා දක්වා පැවැති තරගයයි.

අද අවසන් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් සංචාරක බංග්ලාදේශ ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 495ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 485ක් පමණයි. අනතුරු ව ලකුණු 10ක් ද අතැතිව 2 වැනි ඉනිමට පිටියට පිවිසි සංචාරක ක්‍රීඩකයෝ එවර කඩුලු 6ක් දැවී ලකුණු 285ක් ලබා ගනිමින් සත්කාරක ක්‍රීඩකයන්ට පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර තරගය අවසන් වන විට ඔවුන්ගේ ලකුණු පුවරුව කඩුලු 4ක් දැවී ලකුණු 72ක් තිබුණා.

තරගයේ සිව් වැනි දිනය වූ අද දවස ආරම්භ වෙන්නේ බංග්ලාදේශ 2 වැනි ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 177ක් ලෙසින් තිබියදීයි. ඒ වෙද්දී නායක Najmul Hossain Shanto නොදැවී ලකුණු 56ක් සහ Mushfiqur Rahim නොදැවී ලකුණු 22ක් ලබා සිටියා.

බංග්ලාදේශ ඉනිමේ අද දවසේ දැවී ගිය පළමු ක්‍රීඩකයා බවට පත් වූයේ Mushfiqur Rahim. ඔහු දුවද්දී දැවී යන විට පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් ද සමඟින් ලකුණු 49ක් ලබා සිටියා. එම කඩුල්ල දැවී යෑමත් සමඟින් බංග්ලාදේශ ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 237ක් වූ අතර ඔවුන් දෙදෙනා අතර සිව් වැනි කඩුල්ලට සබඳතාව පන්දු 191ක දී ලකුණු 109ක්.

එම කඩුල්ල දැවී යෑමත් සමඟින් වර්ෂාව හේතුවෙන් තරගය පැය 2කට වැඩි කාලයක් නතර කර තැබුණා. ඒ අතර තරගයේ දිවා විවේකය ද ලබා ගත් අතර ඉන් අනතුරු ව පිටියට පිවිසි Litton Das (3) සහ Jaker Ali (2) අඩු ලකුණුවලට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුණා.

ඔවුන්ගේ දැවී යෑම්වලින් අනතුරු ව Nayeem Hasan පිටියට එක් වෙන අතර ඔහු හා නායක Najmul Hossain Shanto අතර 7 වැනි කඩුල්ලට ලකුණු 36ක් එක් වෙද්දී බංග්ලාදේශ 2 වැනි ඉනිම අත්හිටුවීමට පිටියේ රැඳී සිටි නායකයා තීරණය කරනවා.

ඒ වෙද්දී බංග්ලාදේශ ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 285ක් බවට පත් ව තිබූ අතර Najmul Hossain Shanto බංග්ලාදේශ දෙවැනි ඉනිමට පන්දු 199කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 125ක් එක් කර තිබුණා.

එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 7 වැනි ශතකය වූ අතර ඉනිම දෙකේදී ම ශතක රැස් කළ 2 වැනි අවස්ථාව බවට පත් වුණා. ඊට පෙර ඔහු 2023 වසරේ දී Mirpur හි දී ඇෆ්ගනිස්තානයට එරෙහි ව පළමු ඉනිමේ ලකුණු දී ලකුණු 146ක් ද සහ 2 වැනි ඉනිමේ දී ලකුණු 124ක් ද ලබා තිබුණා.

බංග්ලාදේශ ඉනිම අත්හිටුවන විට පිටියේ අනෙක් අන්තයේ නොදැවී රැඳී සිටි Nayeem Hasan පන්දු 23කට මුහුණ දෙමින් ලකුණු 7ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී තරිඳු රත්නායක ලකුණු 102කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව මිලාන් රත්නායක සහ ප්‍රභාත් ජයසූරිය කඩුල්ල බැගින් දවා ගත්තා.

ජයගහ්‍රණය සඳහා ලකුණු 296ක හඹා යන ඉනිමකට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 72ක් ලබා සිටියා. එම ඉනිමේ දී ද පළමු කඩුල්ල ලෙසින් නවක ක්‍රීඩක ලහිරු උදාර දැවී යනවා. ඒ වන විට ඔහු පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලබා සිටියේ ලකුණු 9ක් පමණයි.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 2 වැනි පන්දුවේ දී පැතුම් නිස්සංකගේ ඉනිම ද අවසන් කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා.

අනතුරු ව ඇන්ජලෝ මැතිව්ස් ද තම අවසන් ටෙස්ට් ඉනිම ලකුණු 8කට සීමා කර ගන්නවා . ඔහු 3 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 45කට මුහුණ දී සිටි අතර ඊට හතරේ පහරක් ද එක් කරගෙන තිබුණා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව දිනේෂ් චන්දිමාල් සිවු වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 44කට මුහුණ දෙමින් කිසිදු සීමා ලකුණක් නොමැති ව ලකුණු 6ක් ලබා තිබූණා.

තරගය නතර කරන විට කමිඳු මෙන්ඩිස් පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 12ක් ද සහ නායක ධනංජය ද සිල්වා පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 12ක් ද ලබා ගෙන තිබුණා.

කමිඳු මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා අතර 5 වැනි කඩුල්ලට නොදැවුණ සබඳතාව ලකුණු 24ක් වූ අතර ඒ වෙනුවෙන් ඔවුන් පන්දු 53කට මුහුණ දී සිටියා.

ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු 4න් 3ක ම හිමිකාරයා වූයේ වමතින් දඟ පන්දු යවන Taijul Islam. ඔහු මේ දක්ෂතාව දක්වන්නේ ප්‍රතිවාදීන්ට ලකුණු 23ක් පමණක් ලබා දෙමිනුයි. ඒ සඳහා ඔහු 2 වැනි ඉනිමේ දී ප්‍රතිවාදීන්ට යැවුණ පන්දුවාර ප්‍රමාණයෙන් හරි අඩක් ම යවා තිබුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බංග්ලාදේශය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 495 (153.4) Mominul Haque 29, Najmul Hossain Shanto 148, Mushfiqur Rahim 163, Litton Das 90, අසිත ප්‍රනාන්දු 4/86, මිලාන් රත්නායක 3/39, තරිඳු රත්නායක 3/196
  • ශ්‍රී ලංකාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 485 (131.2) පැතුම් නිස්සංක 187, ලහිරු උදාර 29, දිනේෂ් චන්දිමාල් 54, ඇන්ජලෝ මැතිව්ස් 39, කමිඳු මෙන්ඩිස් 87, මිලාන් රත්නායක 39, Hasan Mahmud 3/74, Nayeem Hasan 5/121
  • බංග්ලාදේශය – දෙවැනි ඉනිම කඩුලු 6 දැවී 285 (87.0) Shadman Islam 76, Najmul Hossain Shanto 125, Mushfiqur Rahim 49, තරිඳු රත්නායක 3/102
  • ශ්‍රී ලංකාව – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 72 (32.0) පැතුම් නිස්සංක 24, කමිඳු මෙන්ඩිස් නොදැවී 12, ධනංජය ද සිල්වා නොදැවී 12, Taijul Islam 3/23

තරගයේ වීරයා – Najmul Hossain Shanto (බංග්ලාදේශය)

දෙරට අතර පැවැත්වෙන 2 වැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ මස 25 වැනිදා SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<